දරුවන් වෙනුවෙන් සැමියා වෙනුවෙන් තමගේ පවුල වෙනුවෙන් ජීවිතයම කැප කරන තවත් චරිතයක් වේ නම් එ තමයි අම්මා..
අම්මා කෙනෙකුගේ අගය ඇත්තටම වචනයෙන් කියලා විස්තර කරන්න බැරි තරම්.. මේ තවත් ඒ වගේ අම්මා කෙනෙක් ගැන ඇසෙන කතාවක්.. කසුන් මහේන්ද්‍ර, ඔහු තම මවට දැඩිව ආදරය කරන පුතෙක්..
ඉතින් ඔහු තාත්තාගේ ආදරයත් අඩුවක් වෙලා තියන මේ වෙලාවේ අම්මාව සනසන්න හිතුවත් දැන් ඇය ඒ කිසිම දේකට සැනසෙන්නේ නැති හැඩයි.. ඒ ගැන කසුන් එකතු කරපු මේ සටහනෙන්ම තේරෙනවා නේ..
“තාත්තා නැති නිසා බර්ත් ඩේ කේක් එක කපන්න බෑ කියල ඇස්වල කඳුළු පුරෝගෙන පැත්තකට ගියා. ඒ තමයි මගෙ අම්මා ..”
ඔවුන් දෙන්නාගේ බැඳීම මොන වගේ වුණත් ආදරණීය අම්මාට මේ සුබපැතුම් එකතු කරන්න ඔහු කොහොම වත්ම අමතක කරලා නැහැ.. මේ කසුන් අම්මා වෙනුවෙන් එකතු කරපු සුබපැතුමයි…
“සුබ උපන්දිනයක් වේවා මගෙ අහිංසක අම්මා…
මං අසනීප වුනාම ලඟ නිදිමරාගෙන මා එක්ක රෝහල් ගානෙ ලැග්ග, මම වේදනාවෙන් කෑගහද්දි මං එක්කම අඬ අඬ අතින් අල්ලන් හිටිය, ගෙදර නැවතිලා උයලා පිහලා රෙදි හෝදලා ගේ අස් කරලා දීලා අමාරු දවස් ගෙවාගන්න හයියක් වුනු, “මට අම්මා නොහිටින්න මම මොනවා කරගන්නද.. අප්පච්චිත් නැති මම තනි වෙනව නේද!” කියලා මම කියද්දි “අනික් අය මං වගේ නිකං ගෙදර ඉන්න අය නෙවෙයිනෙ පුතේ.. එයාලා කාර්යබහුල වැදගත් අයනේ” කියලා නිහතමානීව හිත හදන්න හදපු, පරාර්තකාමීත්වයේ උල්පත වුනු අම්මා නිසා සංසාර බැඳීම් ඇත්ත බව මට ඔප්පු වුනා. ජීවිතේම සතුටින් දරුවො වෙනුවෙන් කැප කරපු, ඒ කැපකිරීම වදයක් කොට නොසලකා එහි ඵල දැකලා සතුටට කැමරා නැතිකොටත් ඇත්තට රහසින් අඬන අම්මාට සුබ උපන්දිනයක්! තව අවුරුදු ගොඩාරියක් අක්කයි අපියි එක්ක සුවෙන් ඉන්න මගෙ ගැන වැඩිපුරම වද වුන අප්පච්චි ඉන්න තැනක ඉඳන් සැනසුම් සුසුම් හෙළනවා ඇති. අම්මට පිං දෙනවා ඇති මාව මෙහෙම බලාගන්නවට..!”