Image

අන්තිමට පොහොට්ටුවට ඉතිරි වුණේ මන්ත්‍රීලා 12යි.. එයින් 05ක් ම රාජපක්ෂලා…! – විමල්

ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා කැඳවූ පසු ග්‍රහ මාරු වීම් සිදුවෙමින් තිබෙන අතර ඉදිරියේදී තවත් ග්‍රහ මාරු කිහිපයක්ම සිදුවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවූවාට පසුව දැන් ග්‍රහ මාරුවීම් සිදුවෙමින් තිබෙනවා. පොහොට්ටුව දෙස බලන්න. අද එතැන මොකද වෙන්නේ? බැසිල් රාජපක්ෂලා පොහොට්ටුව ගැන හිතලා ළඟ තියාගෙන හිටපු ‘ඇච්චො- බැච්චො ටික’ මහින්ද අප්පොච්චිගේ ඔඩොක්කුව අතහැරලා දැන් රනිල් අප්පොච්චිගේ ඔඩොක්කුවට පනිමින් සිටිනවා. බැසිල් රාජපක්ෂ කිරි පොවපු රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන වැනි මහ පැටව් පවා දැන් අනෙක් පැත්තට පැනලා තිබෙනවා.

මේ විදියට බැසිල් රාජපක්ෂලා කිරි පොවලා හදපු පොහොට්ටු පැටව් ටික මහින්ද අප්පොච්චිව සම්පූර්ණයෙන් අතහැරලා දාලා රනිල් අප්පොච්චි ළඟට යෑම නිසා අද පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණයි නාමල් රාජපක්ෂ සමඟ ඉතිරි වී සිටින්නේ. එයින් පස්දෙනෙකුම රාජපක්ෂලා. ඒ වගේම රාජපක්ෂ පවුලේ එක් ප්‍රධාන ජ්‍යෙෂ්ඨයෙක් අහනවා, ‘රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන්න මම එන්න ද?’ කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය කියනවා, ‘ඔබ ආවොත් අපේ පාර්ශ්වයට ආයෙත් රාජපක්ෂලා ගෑවුණා වගේ වෙයි. ඒ නිසා ඔබ මධ්‍යස්ථව සිටින බව පෙන්වන්න.’ කියලා. ඒ කවුදැයි මාධ්‍යවේදී ඔබ සොයාගත යුතුයි.

දැන් එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනට සූදානම් වෙන්නේ රාජපක්ෂලා නැතිවයි. අපට මතකයි විපක්ෂයේ ඇතැමුන් කීවා, ‘ඔය රාජපක්ෂලා සමඟ මධුසමය ගතකරන තෙක් අපි ආණ්ඩුව සමඟ එකතු වෙන්නේ නැහැ’ කියලා. දැන් ඒ අයට තිබුණු බාධාව ඉවත්ව තිබෙන බව පෙනෙනවා. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ තවත් ග්‍රහ මාරු කීපයක්ම සිදුවීමට නියමිතව තිබෙනවා.”

TRENDING POST