Image

රට පාලනය කළ නායකයන්ගේ අර්බුදයට විසඳුම වන්නේ ණය ගැනීම හෝ විකිණීමයි – ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි

එක් දහස් පන්සිය පහට (1505) පෙර ශ්‍රී ලංකාව පැවති තත්ත්වයේ රටක් හා පාලන ක්‍රමයක් නැවත ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන නායකත්වයක් බලයට පත්කිරීම සඳහා සහාය ලබා දෙන බව ඓතිහාසික මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ පැවසුහ.

නාහිමිපාණන් වහන්සේ මේ බව කියාසිටියේ අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේ දී සිවිල් සංවිධාන ඇතුළු නව පාලනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නායක හිමියන් සමග එක්වූ පිරිසක් සමග පැවති රැස්වීමක් අමතමිනි. නාහිමිපාණන් වහන්සේ තවදුරටත් මෙසේද පැවසුහ.

1948 න් පසුව මේ දක්වා වසර හැත්තෑ හයක් පුරා රට පාලනය කල නායකයින් විසින් නිර්මාණය කර ඇත්තේ ආර්ථික, සාමාජීය, පාරිසරික, අධ්‍යාත්මික හා දේශපාලන යන පංච අර්බුදයක් බවත් මෙම අර්බුදයන් පාලනය කිරීම සඳහා අපේ රටේ නායකයින් සිදුකරනුයේ ණය ගැනීම හෝ රටේ කොටසක් විකිණීමට කටයුතු කිරීම පමණයි.

සිංහල පමණක් නොව දෙමළ භාෂාව ද රටේ දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළ යුතු බවත් ඉංග්‍රීසි, පෘතිග්‍රීසි හා ලන්දේසි නීති වෙනුවට 1505 ට පෙර පැවති රට නැවත මෙරට නිර්මාණය කරන ජනාධිපතිවරයෙකු බිහිකළ යුතු යැයි පැවසූහ.

සුද්දගේ නීතිය වෙනුවට රටට ගැලපෙන නීතියක් නිර්මාණය කළ යුතු බවත් ඊට එකඟවන ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් රටේ ජනතාව සහාය ලබාදෙන ලෙස රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද කීහ.

බුද්ධාගම පෝෂණය කර සුරක්ෂිත කරන බවට දේශපාලකයින් පොරොන්දු ලබා දුන්න ද රටේ නායකයින් බුද්ධාගම පමණක් නොව සියලුම ආගම්වලට කිසි දෙයක් සිදුකර නෑ. දේශපාලනඥයන්ට පමණක් නොව ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ද ඇත්තේ මනි මේනියාවයි.

ජනතාවගේ යෝජනාවන් වෙනුවෙන් ඇප කැප වෙන බවට මහානායක හිමිවරුන් ඇතුළු ආගමික නායකන් ඉදිරියේ පොරොන්දු ලබාදිය යුතු බවද නාහිමිපාණන් වහන්සේ පැවසුහ. බලය අත් හැරීමට අකමැති බංගලදේශ අගමැතිනියට සිදුවූ දේ මෙරට බලය අතහැරීමට අකමැති නායකයින්ට හොඳම උදාහරණය බවත් ආත්මාර්ථකාමීව බලයට ගිජුව තවදුරටත් පාලනය ගෙනයෑම නොහැකි යැයිද කීහ.

TRENDING POST