Image

වැඩේ දෙන්නේ මෙහෙමයි.. කොළඹ ගම්පහ කුරුණෑගල ආව කියන්නේ ගේම ශුවර්.. අනුර කියයි.!

ජයග්‍රාහී ජන රැලි මාලාවේ පඬුවස්නුවර මහ රැලියට එක්වෙමින් ජාතික ජන බලවේගය නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට හිමිවූ ඡන්ද ලක්ෂ 69 සතුව පවතින්නේ පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝ පොදුජන පෙරමුණේ ඡන්දන් පමණක් නොවන බවයි.

එම ජනාධිපතිවරණයේදී සමාජයේ පැවැති වාතාවරණය අනුව නීතිඥයන්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ යන චරිතය වටා එක් රැස් වී සිටි බව පැවසූ දිසානායක මහතා, ලක්ෂ 69 අතරින් ලක්ෂ 50කට වඩා ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ යන චරිතය වටා කේන්ද්‍ර වූ ඡන්ද බව පෙන්වා දුනි.

වර්තමානය වන විට එම ඡන්ද ප්‍රමාණයෙන් ඉතිරිව පවතින ඡන්ද සංඛ්‍යාව 10%ටත් වඩා අඩු වී ඇති බවත් මේ වනවිට ඉන් ලක්ෂ 60කට අධික ඡන්ද ප්‍රමාණයක් ඉවත් වී ඇති බවත් ඔහු පවසයි.

ලක්ෂ 55ක් ලබා ගත්තේ යැයි පුරසාරම් දොඩනා සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පසුව පැමිණි මහ මැතිවරණයේදී ලක්ෂ 27කට පහත වැටුණු බව ඔවුන්ට අමතක වී ඇති බවත් පැවසූ දිසානායක මහතා එලෙස දේශපාලන පක්ෂ වලින් ගැලවී ගිය චන්ද වලින් අති බහුතරයක් මේ වන විට මාලිමාව වටා එක්රැස් වී ඇති බව පවසයි.

ජන රැලිය අමතමින් දිසානායක මහතා අවධාරණය කර සිටියේ කුරුණෑගල, ගම්පහ කොළඹ ප්‍රදේශවලින් සුවිශාල ජයග්‍රහණයක් මාලිමාව වෙත ලබාදීම අත්‍යවශ්‍ය බවත් එම ජයග්‍රහණය හරහා 21 වැනිදා රටේ බලය ජාතික ලබා ගන්නා වැඩපිළිවෙළ සාර්ථක වන බවත්ය.

TRENDING POST