මේ වනවිට වෛරස් උණ කිහිපයක් පැතිර ගොස් ඇති බැවින් කැස්ස, හෙම්බිරිසාව, උණ තියෙනවා නම් දරුවන්ව ගෙදර තියා ගන්නා ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
විශේෂයෙන් ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ පැතිරිලා තිබෙන බවත් එම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් එම රෝග ලක්ෂණ තිබෙන දරුවන් මාස්ක් එකක් පලදින ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා තවදුරටත් සදහන් කළේ,
“කැස්ස හුස්ම ගැනීමේ අපහසුව තියෙනවා නම් මේක ළමා හතිය ඇති වීමක් වෙන්න පුළුවන්. දෙවනුව වෛරස් උණ පැතිරයෑමේ හැකියාවකුත් තියෙනවා. දැනටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරිලා තියෙනවා.
විශේෂයෙන් ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ තමා පැතිරිලා තියෙන්නේ. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියි. ඒ නිසා පුළුවන් තරම් කැස්ස, හෙම්බිරිසාව, උණ තියෙනවා නම් ඒ දරුවන්ව ගෙදර තියා ගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ අයට මාස්ක් එකක් පලඳවන්න. ඊට පස්සේ ළමා හතියත්, ස්වසන රෝගත් වැඩිවීම ගැන අපි කල්පනාකාරී විය යුතුයි.
රාත්‍රී කාලයේ කැස්ස ඇති වෙනවා නම් ඒක ළමා හතිය වෙන්න පුළුවන්. කැස්ස, උණ සමග පපුව රිදෙනවා නම් උණ දිගටම පවතිනවා නිව්මෝනියා තත්ත්වයට පත්වෙලා ද කියලා සොයා බැලිය යුතුයි. ඉහළ ස්වසන මාර්ගයේ සහ පහළ ස්වසන මාර්ගයේ රෝග වැඩිවෙන්න පුළුවන් සීතල සමගම. ඒ නිසා ළමයින්ව පරිස්සම් කරගන්න.”

