මේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම මහජන මුදල් වංචාව වී එෆ් එස් වංචාව බවත් මෙරට දේශසීමා ඉන්දියාවේ පෙට්ටි කඩේකට විකුණා දැමුවේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කරයි.
මන්ත්‍රී පාඨලී චම්පික රණවක තවදුරටත් සදහන් කළේ,
“දැන් පහුගිය ටිකේ කවුද මේ රටේ හොරු ඇල්ලුවේ.? මේ රටේ සෞඛ්‍ය සේවය, ඉමොග්ලොබින් ගනුදෙනුව ගැන කවුද හඬ නැගුවේ.? අපේ කාවින්ද ජයවර්ධනයි. අර වෛද්‍ය චමල් සංජීවයි ඒ වගේම ස්වේච්ඡා ක්‍රියාකාරිකයන් තමයි. ඔවුන් සටන් කරලා තමයි අද කෙහෙළිය මහත්තයා ඇතුළු ඒ වංචනිකයින් හිරේ ඉන්නේ. අනුර දිසානායකලා හිරේ යවපු, අනුර දිසානායක නඩු දාපු කවුරුවත් ඉන්නවද.?
මේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම මහජන මුදල් වංචාව තමයි වී එෆ් එස් වංචාව. මේ රටේ දේශසීමා ඉන්දියාවේ පෙට්ටි කඩේකට අයි වී එස් කියලා විකුණලා දැම්මා. මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්. හැබැයි අනුර දිසානායක නෑ වචනයක් නෑ. මේ ගැන අර පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් කලින් කිව්වා මේගොල්ලෝ දෙන්නගේ ඩීල් එක ගැන.
එක වචනයක්වත් නෑ. ඒ දූෂණය නැවැත්තුවේ මමයි, රවුෆ් හකීමුයි, සුමන්දිරනුයි, උසාවියට ගිහිල්ලා, අද මෙතන ඉන්න හර්ෂ ද සිල්වා මහත්තයා, අපි මුදල් කාරක සභාවේ එතුමා සභාපති හැටියට අපි අරගලයක් කරලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒක නවත්තලා තියෙන්නේ. එහෙනම් අපි අතේ තියාගෙන නිකන් ඉඳලා නෑ. අපි ඒ මත ක්‍රියා කරලා, මේ රටේ දූෂණයයි, වංචාවයි, නතර කරලා තියෙනවා.
අද වෘත්තීයවේදීන් එකතු කරගෙන, මේ රටේ විදුලි බල ශක්තිය ගැන කතා පවත්වනවා. බලශක්ති විප්ලවයක් ගැන කතා කරනවා. හැබැයි මට මතකයි. ඉහල කොත්මලේ ජලාශය හදන්න අපි ගිය වෙලාවේ ඒ වගේම බලාගාර හදන්න අපි දරපු හැම උත්සාහයකදිම පෙළපාලි, පෙරහැරවල්, උද්ඝෝෂණ, උපවාස කරලා ඒවා නැවැත්තුවේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු. අද මතක තියාගන්න, ඒ ටික අද විසිහතර පැයම දෙන්න පුළුවන්.”
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීම පිණිස මොරටුවේ පැවැති ජන හමුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

