Image

සැලසුම් පහයි.. රට දියුණුයි.. මාස හයෙන් හයට අතට මුදල්.! – රනිල්

මේ වනවිට ජීවන බර 2022 වසරට වඩා අඩුවී ඇතත් එයින් සෑහීමකට පත් නොවන බවත් රටේ ආර්ථිකය ක්‍රමයෙන් යහපත් කරමින් හැකි තරම් සහන ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජීවන බර සැහැල්ලු කිරීම, රැකියා ලබාදීම, බදු බර අඩු කිරීම, ආර්ථික ප්‍රවර්ධනයෙන් අපනයන ආර්ථිකයක් ඇති කිරීම, උරුමය අස්වැසුම වැඩසටහන් මගින් අයිතිය ලබාදීම තම මූලික සැලසුම බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

තමන් රට බාරගත් යුගයට වඩා අද වනවිට බඩු මිල සැලකිය යුතු ගණනකින් අඩු වී තිබෙන බවත් ප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

“මා ස්වාධීන අපේක්ෂකයෙක් වුනේ මේ රට බේරගන්න. මා රට බාරගත් යුගයට වඩා අද වන විට බඩු මිල සැලකිය යුතු ගණනකින් අඩු වී තිබෙනවා. අපි ගත් පියවර නිසා ජීවන බර පාලනය කර ආදායම වැඩි කරන්නට හැකි වී තිබෙනවා. එමෙන්ම අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම සහනය ලබා දුන්නා. අප මාස හයෙන් හයට අලුතින් අස්වැසුම ලබා දෙනවා.

සැප්තැම්බර් (22) වැනිදා සිට මගේ සැලසුම ක්‍රියාත්මක කරනවා. අද වන විට 2022 ට වඩා ජීවන බර අඩු වුණත් එයින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. තවදුරටත් ජීවන වියදම මෙන්ම බඩු මිල අඩු කළ යුතුයි. හැකි තරම් සහන දීම මගේ අරමුණයි. බඩු මිල අඩු කරන බව අනෙක් පක්ෂත් කියා තියනවා. මම එය කරන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන්.

එදා මා රට බාර ගන්නා විට ඩොලරයට 370 ක් ගෙව්වා. අද වන විට ඩොලරයට ගෙවිය යුත්තේ රුපියල් 300ක් පමණයි. සමෘද්ධිය අස්වැසුමට සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා. ඒ නිසා සමෘද්ධි නිලධාරීන්ටත් ප්‍රශ්නයක් නැතුව මේ වැඩ කටයුත්තේ ඉදිරියට යන්න පුළුවන්. ඔවුන්ගේ අනාගතය අප ආරක්ෂිත කරනවා.”

බණ්ඩාරවල නගරයේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST