Image

වෘශ්චික නම් අනුර, වෘෂභ නම් සජිත්..!  අනාගත ජනාධිපතිවරයා ගැන ජෝතීර්වේදීන්ගේ මතය මෙන්න

රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ට ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට නොහැකි වනු ඇති බව පාරම්පරික ගුප්ත ශාස්ත්‍ර රොෂාන් චානක තිසේරා මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පෞද්ගලික Youtube නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

නාමල් රාජපක්ෂ මහතාගේ කේන්දරයට අනුව සඳුගේ මහදසා උදාවී ඇති බව සඳහන්.

ඒ අනුව ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන්ගේ දුර්වලම කේන්දරය ඇත්තේ, ඔහුට බවයි රොෂාන් චානක තිසේරා පෙන්වා දෙන්නේ.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණය ජය ගන්නේ නම් තමන් ජෝතිශ්‍ය ක්‍රියාකාරකම් නතර කරන බවට අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රවීණ ජෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා අවධාරණය කළා.

මේ අතර සැප්තැම්බර් මස 21 වෙනිදා මෙරටට සුබදායක නොවුණ ද, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එය වාසිදායක දිනයක් බවයි, රොෂාන් චානක තිසේරා මහතා පැවසුවේ.

එදිනට බෙරණ නැකත යෙදී ඇති අතර එය ජනප්‍රවාදයේ හොර නැකතක් බවට හඳුන්වනු ලබනවා.

ඒ අනුව එදිනට කිසිදු සුබ කාර්යයක් සිදු කිරීම නුසුදුසු බව ද රොෂාන් චානක මහතා අනාවරණ කළා.

මෙම දිනවල ලේ වැගිරීමක් බලාපොරොත්තු විය හැකි බවත්, ඒ හේතුවෙන් ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට ඔහු ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ කේන්දරය අනුව මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයා වීමට නොහැකි බව ද ඉන්දික තොටවත්ත මහතා එහි දී හෙළිදරව් කළා.

එමෙන්ම රොෂාන් චානක තිසේරා මහතා අදාළ සාකච්ඡාවේ දී කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතාට කේන්දර දෙකක් ඇති බවයි.

ඉන් එකක් මිථුන ලග්නයට අනුව සකස් කර ඇති බවත්, අනෙක් කේන්දරය වෘෂභ ලග්නය අනුව ලියා ඇති බවත් ඔහු අනාවරණ කළා.

එමෙන් ම අනුර කුමාර දිසානායක මහතාටත් කේන්දර දෙකක් ඇති බවයි රොෂාන් චානක තිසේරා මහතා හෙළිදරව් කර සිටියේ.

ඒ අනුව වෘශ්චික සහ ධනු ලග්නය ලෙස භාවිත කර කේන්දරය සකස් කර ඇති බව සඳහන්.

අනුර කුමාර දිසානායක මහතා‌ගේ උපන් වෙලාවට අනුව ධනු ලග්නලාභීයෙක් නම් මෙම මැතිවරණය පරදින බවයි ඉන්දික තොටවත්ත මහතා ප්‍රකාශ කරන්නේ.

ඔහුගේ ලග්නය වෘශ්චික වන්නේ නම් මහා පරිවර්තන යෝගයක් පිහිටා ඇති බවත් මෙවැනි යෝගයක් පිහිටා ඇති කේන්දරයක් මීට පෙර දැක නොමැති බවත් ඉන්දික තොටවත්ත මහතා අනාවරණ කළා.

තමන්ට ලැබී ඇති කේන්දර නිවැරදි නම් ජනාධිපතිවරණයේ ප්‍රධානතම තරගකරුවන් දෙදෙනා වෘෂභ ලග්නයේ උපන් සජිත් ප්‍රේමදාස මහතා සහ වෘශ්චික ලග්නයේ උපන් අනුර කුමාර දිසානායක මහතා බවයි, ඔවුන් දෙදෙනා අදාළ සාකච්ඡාවේ දී කියා සිටියේ.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ කේන්දරවල ඇතැම් අඩුපාඩු පවතිනවා.

ඒවාට සිදු කළ යුත්තේ කුමක්දැයි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තමන්ගෙන් උපදෙස් ලබාගත් බවයි, රොෂාන් චානක තිසේරා මහතා අනාවරණ කළේ.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා එම උපදෙස් පිළිපැද්දා ද යන්න මේ මස 12 වැනිදා වනවිට දැනගැනීමට හැකි වනු ඇති.

එම ප්‍රයෝග සිදු නොකළා නම් මෙම ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක මහතා ජයගන්නා බව ඉන්දික තොටවත්ත මහතා කියා සිටියා.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතාගේ කේන්දරයේ ඇතැම් දෝෂ පවතින බවත් ඒ සඳහා ප්‍රයෝග සිදු කළ යුතු බවත් ඔවුන් දෙපළ සඳහන් කළා.

TRENDING POST