Image

රනිල්ගේ වැඩපිළිවෙළට වඩා ජනතාව අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විශ්වාස කළා – වජිර

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන මහ මැතිවරණයට තරග නොකරන බවත්, ඔහු ජාතික ලැයිස්තුවෙන් එනවද නැතිද තීරණය කිරීමට තවම කල් වැඩි බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා තරග නොකළත් ඔහුගේ නායකත්වය යටතේ පුළුල් සන්ධානයකින් මහ මැතිවරණයට තරග කිරීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් අබේවර්ධන මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.

මහ මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කළයුතු යැයි පක්‍ෂයේ බහුතරය ඉල්ලා සිටින බවත් සන්ධානගත වන පිරිස සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණිය හැකි බවත් අබේවර්ධන මහතා කීය.

මේ වනවිට මහ මැතිවරණයට සන්ධාන ගතවීම සඳහා විපක්‍ෂයේ සියලුම පිරිස්වලට ආරාධනා කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවත් පැවසූ එ.ජා.ප. සභාපතිවරයා සමගි ජනබලවේගය ඇතුළු විවිධ පක්‍ෂ සමග මෙම සාකච්ඡා පැවැත්වෙන බවද කීය. විපක්‍ෂයේ සියලුදෙනා එකමුතුව වැඩ කිරීම ජයග්‍රහණයට වාසියක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තමාට ඡන්දය දුන් සියලුම ජනතාවට ස්තූති කළ බව පැවසූ අබේවර්ධන මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අවශ්‍ය සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළ බවද කීය. ඕනෑම ජනාධිපතිවරයකුට තම කටයුතු කරගෙන යෑම සඳහා යම් කාලසීමාවක් අවශ්‍ය බවත්, ඒ සඳහා ඔහුට කාලය ලබාදීමට දේශපාලන පක්‍ෂ මෙන්ම සමස්ත ජනතාවම බලා සිටින බවත්, ඔහු එය ඉටු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඒ මහතා කීය.

වසර 02කට පෙර රටේ තිබූ අස්ථාවර තත්ත්වය දුරුකර මැතිවරණයක් පැවැත්වීමට හැකි තත්ත්වයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටට ඇතිකර දීම ගැන ඔහුට ස්තූතිවන්ත විය යුතු බවද අබේවර්ධන මහතා කීය. මැතිවරණ කොමිෂන් සභාවත් යම් යම් ප්‍රකාශ කළාට ස්තූතිය ප්‍රකාශ කිරීමට අමතක වූ බවද හෙතෙම කීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කරගෙන ගිය වැඩසටහන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ලෝකයේ ආධාර දෙන රටවල් අනුමත කළත්, රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට වඩා අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය කෙරෙහි විශ්වාසය තබා ඇති නිසා ඔහු පත්කර ගෙන ඇතැයි ද ඒ මහතා කීය. නැවත රටේ පෝලිම් යුගයක් ඇති නොවන්න, නැවත අනෙකුත් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගැනීම අනුර කුමාර දිසානායක මහතාගේ වගකීම බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව නැවතත් අර්බුදයකට මුහුණදෙන ඕනෑම අවස්ථාවක තනතුරු ඇතත් නැතත් ඒ සඳහා පෙනී සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණා. ඒ කියන්නේ ඒ මහතා ජාතියේ ආරක්‍ෂකයකු ලෙස පෙනී සිටින බවයි. 2001 දී මේ රට ආර්ථික වශයෙන් කඩාවැටී විශාල බදු බර පැනවෙන අවස්ථාවකදී ද රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන එය නිවැරදි කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් අබේවර්ධන මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පක්‍ෂ නායකත්වය විසින් තීරණයක් ගන්නා බවයි.

TRENDING POST