දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදා (30) හෝ ඊට පෙර ගෙවා අවසන් කළයුතු බවයි.
මොනයම් හෝ බදු වර්ගයක් සඳහා යමෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇතිවූ හිග බදු පවතීනම් ඒ සියල්ල ලබන සඳුදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළයුතු බවත් එමෙන්ම යම් තැනැත්තෙක් ආදායම් බදු පැහැරහරින්නේනම් හෝ ප්‍රමාද වී ගෙවයි නම් පවතින නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොළීයකට යටත් වීමට සිදුවන බවද කොමසාරිස්වරිය පවසයි.
එමෙන්ම ඇය අවධාරණය කර සිටියේ, සඳුදාට පසුව තවදුරටත් නොගෙවා සිටින හිග බදු පවතීනම් ඒවා අයකර ගැනීමට දේශීය ආදායම් පනත ප්‍රකාරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනා බවයි.
1944 ක්ෂනික දුරකථන අංකය මගින් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් බදු සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

