Image

පිළිකා රෝගින්ට දුන් එන්නත් වල ඇල්වතුර

අසාධ්‍ය පිළිකා රෝගීන්ට සහ ස්නායු රෝගීන්ට ලබා දෙන එන්නත් බව හඟවා ඇල්වතුර පිරවූ එන්නත් කුප්පි 3150ක් මිල දී ගෙන ඒ වෙනුවෙන් රුපියල් දාහතර කෝටි හතළිස් දෙලක්ෂ අනූතුන්දහස් තුන්සිය පනස්හයක් ගෙවීමේ මහා පරිමාණ වංචාව පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණ අරඹා තිබෙන බව සිළුමිණ පුවත්පත වාර්තා කරනවා.

වෛද්‍ය සැපයුම් අංශයෙන් මිලට ගෙන ‘Rituximab’ ලේබලය සහිතව එවන ලද පිළිකා ඖෂධ එන්නත රෝගීන්ට ලබා දුන්නද ඉන් ප්‍රගතියක් නොමැති වීම ගැන ඇති වූ සැකය මත ජාතික පිළිකා ආයතනය විසින් අදාළ එන්නත පරීක්ෂණයකට භාජන කිරීමේදී අනාවරණය වී ඇත්තේ එහි ජලය පමණක් අඩංගු බවයි.

පිළිකා රෝගීන් වෙනුවෙන් එම එන්නත් කුප්පි 2250ක් මිලට ගෙන ඇත්තේ රුපියල් 107,911,481 (රුපියල් දස කෝටි හැත්තෑ නව ලක්ෂ එකොළොස් දහස් හාරසිය අසූ එකක්) වැය කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නැති සමාගමකින් බවයි සඳහන් වන්නේ.

එසේම අසාධ්‍ය ස්නායු රෝගීන්ට ලබා දීම වෙනුවෙන් යැයි සඳහන් කර රුපියල් 36,381,875ක් වැයකර ‘Human Immunoglobulin’ ලේබලය ඇලවූ එන්නත් කුප්පි 900ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගෙන ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එම එන්නත් තිබියදී බරපතළ හිගයක් පවතින බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින්.

එම එන්නත්හි ද අන්තර්ගතව ඇත්තේ ජලය පමණක් වන අතර එන්නත් කුප්පි කිහිපයක සේලයින් දියර අන්තර්ගතව තිබු බවයි පැවසෙන්නේ.

එය මිලදී ගෙන ඇත්තේ ආනයනික ඖෂධයක් වශයෙන් වුවද එය නිපදවා ඇත්තේ මෙරට දී බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙන බව සඳහන් වනවා.

TRENDING POST