ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ ප්රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් බවත්, ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාවත් එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන් කෙරුණා.
පාසල් අධ්‍යාපනය නවීකරණය, ගුරු අධ්‍යාපනය, ද්විතියික අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය කිරීම යන කරුණු මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මීට අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ශ්‍රී ලංකාවේ සියලු පාසල් වඩා ඵලදායි පාසල් බවට පරිවර්තනය කළ යුතු අතර දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය හිමි වන පරිදි පාසල් අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව ද එහිදී අවධානයට යොමුකර තිබෙනවා.
උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂය නිර්දේශ හදාරන පාසල් ප්‍රමාණය පුළුල් කිරීමටද එහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

