රජයේ ආරංචි මාර්ග පවසන්නේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇති බවයි.
මැතිවරණ පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ ගැටලුවක් පවතින බවත් එම පනත ප්රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කාලයේදී බවත් නීති විශාරදයෝ පවසති.
නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයකදී ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් ඒ අනුව නාම යෝජනා බාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදායින් සම්පූර්ණ වෙයි.
මේ වනවිට මහ මැතිවරණ ඡන්ද විමසීම නියම කර තිබෙනා දිනය වන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාල සීමාවට ඇතුළත් නොවන බැවින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බව වාර්තා වෙයි.
ඉහත ගැටළුව සම්බන්ධයෙන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද අවධානය යොමු කර ඇති අතර මේ තත්ත්වය යටතේ නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ විට ඉදිරියේදී වෙනස් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

