නව ආණ්ඩුව මාසයක් ඇතුළත මෙරට එක් පුරවැසියෙක් රුපියල් 43,000ක ණය හිමියෙක් බවට පත් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.
හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කළේ,
“මේ ආණ්ඩුව බලයට එන විට ආණ්ඩුවේ ණය තිබුණේ රුපියල් කෝටි 30,600යි. මේ වේගයෙන්ම දිගටම ණය ගත්තොත් ආණ්ඩුව වසර පහක් සම්පූර්ණ කරන කොට ආණ්ඩුවේ ණය තුන් ගුණයකින් ඉහළ යනවා.
මේ ඉලක්කම් මගේ නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව ණයක් ගත් විගස ඒ පිළිබඳ තොරතුරු ඇතුලත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. ඒවා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්.
ආණ්ඩුව සල්ලි අච්චු ගහලා නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කිව්වාට් නෑ අපි සල්ලි අච්චු ගැහුව්වා කියන එකයි මහ බැංකුවේ නිවේදනය සුපරික්ෂාවෙන් කියෙව්වොත් මහ බැංකුව කියන්නේ. සල්ලි අච්චු ගහනවා කියන්නේ නව මුදල් නෝට්ටු භාවිතයට එකතු කරනවා කියන එකයි.
මහ බැංකුව කියන්නේ අපි ආණ්ඩුවට ණය දෙන්න සල්ලි අච්චු ගැහුව්වේ නෑ. ඒත් විදේශ විනිමය මිලදී ගැනීමටත් මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමටත් සල්ලි අච්චු ගැහුව්වා කියලා.
සල්ලි අච්චු ගහනවා කියන්නේ නව නෝට්ටු වෙළඳ පොලට නිකුත් කිරීම නම් ඒකෙන් කියැවෙන්නේ නව නෝට්ටු නිකුත් කළ පමණින් එවකට ඉන්න මුදල් ඇමතිගේ අත්සන තිබෙනවා කියලා. මොකද මහ බැංකුව ආණ්ඩුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තාම දවස් දෙකකින් මුදල් ගෙවන්න ඕනි.
ආප්ප දානවා වගේ සල්ලි ක්ෂණිකව අච්චු ගහන්න බෑ. සුදු ආප්ප තුනයි, බිත්තර ආප්පයයි, පැණි ආප්පයයි කිව්වම විනාඩි දහයෙන් ආප්ප 5ම ලෑස්තියිය. මුදල් මුද්‍රණය සංකීර්ණය කටයුත්තක්නේ. Netflix එකේ මේ සම්බන්ධව චිත්‍රපට පවා තියෙනවා.
අවශ්‍ය අයට බලන්න පුළුවන්. ඒ නිසා මුදල් නෝට්ටු අච්චු ගහලා ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා අවශ්‍ය වුණාම නිකුත් කරන්න. දැන් එසේ තැන්පත් කරලා තියෙන තොග අවසන් වනතුරම රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අත්සන් කල නෝට්ටු මිස අනුර කුමාර දිසානායක මහතා අත්සන් කල නෝට්ටු ලැබෙන්නේ නැ.
බැසිල් රාජපක්ෂ මහතා මාස 10ක් මුදල් ඇමති ධූරය දැරුවා. නමුත් ඔහුගේ නමින් කිසිම මුදල් නෝට්ටුවක් නිකුත් කරලා නෑ. ඒකෙන් කියැවෙන්නේ නෑ එයාගේ කාලයේ ආණ්ඩුව සල්ලි අච්චු ගහලා ණය ගත්තේ නෑ කියලා.
ඒ යුගයේ භාවිතාවට නිකුත් කලේ මහින්ද රාපක්ෂ මුදල් ඇමති කාලයේ මුද්‍රණය කරලා ආරක්ෂිත ගබඩා වල තිබුණු මුදල් නෝට්ටු. ඒ නිසා ආණ්ඩුවක් මුදල් අච්චු ගහලා ණය ගත්තා ද නැද්ද කියන එක මුදල් නෝට්ටුවේ මුදල් ඇමතිගේ අත්සනින් සොයා ගන්න බෑ කියන එක විජිත හේරත් ඇමතිතුමාට පෙන්වා දෙන්න කැමතියි.”

