Image

ඉන්ධන මිල අඩු කිරීම ගැන සංස්ථාවෙන් දැනුම්දීමක්.!

ඉන්ධන මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක කළ විට ඉන්ධන මිල දේශපාලන අවශ්‍යතාවය මත තීරණය කරන බවත් ඡන්දයක් එනකොට මිල අඩු කර, නැවතත් වෙනස් කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සදහන් කරයි.

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් නිසා මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇති බවද එම සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සදහන් කරයි.

සභාපති ඩී.ජේ රාජකරුණා සදහන් කළේ,

“මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම මිල දේශපාලන අවශ්‍යතාවය මත තීරණය කරනවා. එතකොට ඡන්දයක් එනකොට මිල අඩු කරනවා. ආපහු වෙනස් කරනවා. අවසාන ප්‍රතිඵලය බිලියන 03ක් යනතුරු ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රජ්‍ය බංකුවලට ණය තිබුණා.

මොකද ගෙනාපු මිලට වඩා අඩුවෙන් විකුණලා. ඊට පස්සේ මේ මිල සූත්‍රය හරියට ක්‍රියාත්මක වුණාට පස්සේ මම හිතන්නේ පසුගිය අවුරුද්දේ බිලියන 120ක ලාභයක් තිබුණා. මේ වෙනකොට බිලියන 27ක් පෙට්‍රෝලියම් එකට ලාබයක් තියෙනවා.

එහි ප්‍රතිඵලයක් හැටියට දේශපාලනය මැදිහත් වෙලා මේක සාධාරණව ක්‍රියාත්මක නොකිරිම නිසා රටේ මතයක් ඇති වුණා පෙට්‍රෝලියම් එකට මේක කරගෙන යන්න බැහැ කියලා. අන්තිමට ඒ හින්දා වෙන සමාගම් ලංකාවට කැඳව්වා.

දැන් ගැටලුව වෙලා තියෙන්නේ අපිට ස්වාධීනව කටයුතු කරන්න හැකියාවක් නැහැ. මේ වෙනකොට වෙන සමාගම් වෙළෙඳපොළේ ඉන්නවා. ඔවුන් එක්ක ගහපු මේ ගිවිසුම්වල හැටියට මේ මිල සූත්‍රයමයි 2022 ඉඳලා ඒ සමාගමුත් පාවිච්චි කරන්නේ.

අවසානයේ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය මැදිහත්වෙලා මේ මිල සූත්‍රයට අනුව මිලක් තීරණය කරනවා. ඒකෙන් තමයි මේ මාසේ මිල තීරණය වුණේ. එතකොට 95 වල සූපර් ඩීසල්වල ලෝක වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව ගත්තොත් අඩු කරන්න හැකියාවක් තියෙන නිසා අඩුවෙලා තියෙනවා.

ස්වාධීනව මේ මිල අපිට වෙන ඒවට දාලා සමහරවිට ඒවට අඩු කරන්නේ නැතුව අනිත් ඒවාගෙන් අඩු කර ගැනීමේ හැකියාව තිබුණා අනිත් සමාගම් නැතිනම්. දැන් තියෙන ගිවිසුම්වල හැටියට වැරදිලාවත් ඒ අයට පාඩුවක් වුණොත් සහ දැන් මේ ෆෝමියුලා එකේ එන මිලට වඩා ඒ අයගේ වියදම වැඩි වුණොත් අනිවාර්යෙන් රජය බැඳිලා ඉන්නවා ඒ අයට පාඩුව ගෙවන්න.

එහෙම තමයි ගිවිසුමේ තියෙන්නේ. ඒකට අනුව අමාත්‍යංශයට Claim එවලා තියෙනවා. මාස තුනක් ඇතුළත රජය ඒ මුදල ගෙවන්න ඕනේ. අන්න එහෙම ලොකු ගැට ගැහිල්ලක් එක්ක තියෙන නිසා තමයි. ඇත්තටම අපිට මිල ඕනේ විදිහට වෙනස් කරගෙන යන්න බැරිවෙලා තියෙන්නේ.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මේ බව සදහන් කරයි.

TRENDING POST