Image

ආරුගම්බේ ප්‍රහාරයේ මොළකරු ට්‍රම්ප් ඝාතනයේ සැකකරුයි.. අමෙරිකාවෙන් නිවේදනයක්.!

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ (09) දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කළ ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

ජොනත් ලෝඩ්හෝල්ට නම් 36 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි ස්ටැටන් දූපතේදී සහ කාර්ලිස්ල් රිවේරා නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු නිව්යොර්ක් නුවර බෘෘක්ලින් හිදී අත්අඩංගුවට ගැනීමත් සමඟ එම නිවේදනය නිකුත් කර ඇත.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා විසින් මෙම තොරතුරු අනාවරණ කර ඇති අතර ඔවුන් තිදෙනාටම එරෙහිව මේ වන විට අමෙරිකානු අධිකරණය හමුවේ අපරාධ චෝදනා ගොනුකර ඇත.

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවට අමෙරිකාව විශ්වාසය පළකරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පැවති ජනාධිපතිවරණය පරාජය වනු ඇතැයි කුමන්ත්‍රණකරුවන්ගේ විශ්වාසය වී ඇති බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නියෝජිතයෙකුගේ මෙහෙයවීමෙන් මැතිවරණයෙන් පසුව ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවද අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද නිව් යෝර්ක් නුවර වාසය කරන යුදෙව් අමෙරිකානු ජාතිකයින් දෙදෙනකු ඉලක්ක කරන ලෙසට ශකේරිට උපදෙස් ලැබී ඇති අතර එක් අයෙකුට ඩොලර් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ලබාදෙන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පොරොන්දු වී ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය සැලසුමේ චෝදනා එල්ල වී ඇති ඉරාන ජාතික ශකේරී නමැති පුද්ගලයා පසුගිය 2019 වසරේදී හොරොයින් තොගයක් සමග ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබූ බවත් පසුව ඔහු නිදහස් කර ඇති බව ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව සදහන් කරයි.

TRENDING POST