Image

මුරණ්ඩු සහල් මිල මට්ටු කරන නව රජයේ තිරසාර විසඳුම.!

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සභාපති මහාචාර්ය ඒ.එල් සන්දික මහතා පැවවූවේ මහා පරිමාණ වී මෝල් හිමියාගේ සිට කුඩා පරිමාණ වී මෝල් හිමියා දක්වා සියලු දෙනාම ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර, එලෙස ලියාපදිංචි නොවන වී මෝල් හිමියන්ට වී තොග රැස් කිරීමට නොහැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

එලෙස කුඩා පරිමාන සහ මහා පරිමාණ වී මෝල් හිමියන් සියලු දෙනාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හෝ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි කරවීමට නියමිත අතර මේ සඳහා ලියාපදිංචි නොවන වී මෝල් හිමියන්ට දඩ මුදල් පැනවීමටත් රජයේ අවධානය යොමුවී ඇත.

රජය විසින් පවත්වාගෙන යන ඩිජිටල් දත්ත පද්ධතියක් වෙත සියලුම වී මෝල් හිමියකුම සති දෙකකට වරක් තමන් සතු වී ප්‍රමාණය සහ නිෂ්පාදනය කර වෙළෙඳපොළට මුදාහරින සහල් තොගය ස්වේච්ඡාවෙන් තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කරවීමටද නියමිතයි.

අහඹු විගණනයන් ඔස්සේ රජය විසින් එම තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂාවට ලක් කරනු ඇති අතර මෙම ක්‍රමවේදය ලෝකයේ රටවල් රැසක ක්‍රියාත්මක බවද ඒ.එල් සන්දික මහතා සඳහන් කළේය.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ කන්නය ආරම්භයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා වී කිලෝවක නිෂ්පාදන පිරිවැය කොපමණදැයි ලබාගෙන වී සඳහා මිලක් නියම කිරීමටද රජය සැලසුම් කර ඇත. දළ වශයෙන් වී කිලෝවක මිල කොපමණදැයි මෙහිදී තීරණය කිරීමට හැකි බවයි.

මෙම මිල ගණන් පදනම්ව සහල් කිලෝවක නිෂ්පාදන වියදම කොපමණදැයි පසු අස්වනු තාක්ෂණ ආයතනයට ගණනය කිරීමේ හැකියාව පවතින බවත් මෙමගින් අදාළ කන්නයේ සහල් කිලෝවක උපරිම සිල්ලර මිල, තොග මිල කොතෙක්දැයි පාරිභෝගිකයා සහ වෙළෙන්දා දැනුවත් කිරීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව රජය යටතේ වී සංචිතයක් පවත්වාගෙන යාමටද සැලසුම් කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර රටේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට අදාළව වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාළව වී මෝල් සතු වී තොග සම්බන්ධ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන්නේය. එම අධිකාරිය විසින් අදාළ වාර්තාව ඉකුත් බ්‍රහස්පතින්දා (07 වැනිදා) ජනාධිපතිවරයා අතට පත්කළේය.

එම වාර්තාවට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රටේ වී මෝල්වලින් සියයට 60 ක තිබෙන වී තොග සම්බන්ධව තොරතුරු ලබාගෙන තිබේ. එහිදී අනාවරණයවී ඇත්තේ වී මෝල් සතුව ඇත්තේ ඉදිරි මාසයක කාලයක් සඳහා ප්‍රමාණවත් වී තොග පමණක් බවය.

එම වී මෝල් සතුව වී මෙට්‍රික් ටොන් 330,000 ක තොගයක් පවතින බවට තහවුරුවී ඇති අතර, ඉන් නිපදවීමට හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 220,000 කි. මෙරට දෛනික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 6500 ක් වන අතර, මාසික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. ඒ අනුව වී මෝල් සතු වී ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ මාසයකුත් දින තුනක් වැනි කාලයකට පමණි.

අදාළ තොගය දෙසැම්බර් මස දෙවැනි සතිය දක්වා පමණ ප්‍රමාණවත් වන බව වී මෝල් හිමියෝ කියා සිටිති.

TRENDING POST