මාධ්‍ය වෙත පිළිතුරු දෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසූවේ රටේ පවතින සහල් අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් සහල් මෙට්‍රික්ටොන් 70000 ක් ආනයනයට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එළඹෙන උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව සහල් සැපයීමේ අරමුණෙන් මේ පියවර ගත් බවද ාමාත්‍යවරයා පැවසීය.
ඇමැතිවරයා පවසන්නේ කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ ඒකාබද්ධ පියවරක් ලෙස මෙම පත්‍රිකාව ඉදිරිපත් කරන බවත් මේ යටතේ නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් පළමු අදියර යටතේ ආනයනය කරන බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“සහල් ගෙන්නුවත් අපි ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ගැටලුවක් වන්නට ඉඩ තබන්නේ නැහැ. අතරමැදියන්ට පාරිභෝගිකයන්ව ගසාකන්නට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.
මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ අපට ප්‍රශ්නයක් නෑ. සහල් වෙළෙඳපොළේ හිඟ නම් සහල් නිෂ්පාදනය වී තිබෙනවා නම්, ඒ සහල් තොග තිබෙන්න ඕනෑ ඒ හාල් මෝල් හිමියන් ළඟයි. ඒ නිසා අපි පාරිභෝගිකයා සහ ගොවියා ගැන සිතා මේ තීරණය ගත්තා.
මේ අනුව උත්සව සමයට අවශ්‍ය ප්‍රමාණයට සහල් වෙළෙඳපොළට ලබාදෙන්නට අපට පුළුවන්. හිඟයකින් තොරව රජයේ ප්‍රකාශිත මිල අනුව සහල් ලබාගන්නට පාරිභෝගිකයාට මෙහිදී හැකියාව ලැබෙනවා.
මේ සහල් ගැටලුවට සදාකාලික උත්තර අප ළඟ නෑ. වෙළෙඳපොළ පවතින තත්ත්වයට ගැළපෙන උත්තරය ලෙසයි මෙම සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළේ. මේ වන විට මාස් කන්නය ආරම්භ වී තිබෙනවා. මේ කන්නයේදී හොඳ නාඩු අස්වැන්නක් අපට ලැබෙයි කියා අප විශ්වාස කරනවා”

