උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට නිදහස ඇති නමුත් එල්ටීටීඊ සංකේත භාවිතය තහනම් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරයි. තම පවුලේ අය සිහිපත් කිරීමේ අයිතිය සහතික කරමින් නීති විරෝධී සංවිධාන ප්‍රචාරණයට ඉඩ නොදෙන බව පැහැදිලි කරයි.
උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය තම ඥාතීන් නීත්‍යානුකූලව සිහිපත් කිරීමේ අයිතිය ඇති නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ලාංඡන, නිල ඇඳුම් හෝ ඡායාරූප භාවිතා කරමින් මහවීර සැමරුම් පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කර සිටී.
“නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියකුගේ මියයෑම සමරන්න ඉඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ, එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිතා කරමින් බෑ. රටේ නීතියක් තියෙනවා, නීතියට අනුව කොටි සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි ඕනෑම උතුර වේවා, නැගෙනහිර වේවා, දකුණ වේවා, කඳුරට වේවා, තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඒ හරහා සමාජයට ඒත්තු යන්න අවශ්‍ය වෙන්නෙ නෑ සංවිධාන හැටියට තහනම් කරපු සංවිධාන යළි ස්මරණය කරමින් යළි ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍ය ස්ථාපිත කරන බව. අපි කාටවත් බාධා කරලා නෑ තමන්ගේ මියගිය ඥාතියා සිහිපත් කරන්න. ඒ හින්දා මං හිතන්නෙ බොහෝ විට මේ උතුරේ ජනතාව සමහර අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිල්ලා තිබෙනවා. නමුත් අපි රටට අවධාරණය කරන්න කැමතියි එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්, ඔවුන්ට ඉඩකඩක් නෑ ඔවුන්ගේ ලාංඡන, නිල ඇඳුම්, බැනර් යොදාගනිමින් සැමරුම් කරන්න. එහෙත් අපි කිසි විටෙක බාධාවක් කරන්නෙ නෑ මේ රටේ කිසිදු පුද්ගලයකුගේ මියගිය ඥාතියකු සිහිපත් කිරීමට” යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම ප්‍රකාශය අමාත්‍යවරයා විසින් ගල්ගමුව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදී සිදු කළේය.
ශ්‍රී ලංකාවේ උතුරේ ප්‍රදේශවල මහවීර දින සැමරුම් සම්බන්ධයෙන් පසුගිය වසරවලදීද මෙවැනි තත්ත්වයන් උද්ගත වී ඇති අතර, රජය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංකේත භාවිතය සහ ප්‍රසිද්ධ සැමරුම් තහනම් කර තිබේ. කෙසේ වෙතත්, පෞද්ගලික මට්ටමින් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට අවසර ලබා දී ඇත.

