Image

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැසක් අහෝසි කරයි.!

ජාතික ජන බලවේග රජය යටතේ වත්මන් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප හා වාහන පර්මිට් එක නැති කරන බවත් දැනට අමාත්‍යංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සදහන් කරයි.

සුඛෝපභෝගි V8, මොන්ටෙරෝ වැනි වාහන මන්ත්‍රීවරුන්ට ලබා නොදෙන බවත් දැනට මහජන නියෝජිතයන්ට ලබාදෙන වැටුප් හා දීමනා ගැන සමාලෝචනයක් කර තීන්දුවක් ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සදහන් කරයි.

මහජන නියෝජිතයන්ට ලබාදෙන නිල නිවාස සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බවත් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ගිනි අවි සහ ගිනි අවි පුහුණුව සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද සදහන් කරයි.

මැති ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ නිවාසවලට ලබාදෙන ආරක්ෂාව ගැන මන්ත්‍රීවරුන්ට ඉදිරි දිනවල පාර්ලිමේන්තුව ලබාදෙන පුහුණුවේදී දැනුවත් කරන බවත් ඒ පිළිබඳව අවසන් තීරණයක් දැනට සඳහන් කළ නොහැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

දැනට පවත්නා ක්‍රමවේදයට අනුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට වැටුපට අමතරව පාර්ලිමේන්තුව වෙත පැමිණීමේ දීමනාවක්, කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාමට මෙන්ම දුරකතන දීමනාව ඇතුළු දීමනා හිමි වේ.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පැවති පළමු කැබිනට් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය.

මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන, කාර්ය මණ්ඩල, කාර්යාල උපකරණ සහ ආරක්ෂක නිලධාරීන් ආදී විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ සුදුසු විකල්ප ක්‍රමවේද හඳුන්වා දීම පිණිස යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තර වාර්තාවක් මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුවට පැවරී ඇත.

TRENDING POST