රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සදහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.
එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇති බවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
සියලුම රාජ්‍ය ආයතනවල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර, රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ccට වැඩි වාහන (ඩබල් කැබ්/ සිංගල් කැබ්/ වෑන් රථ/ බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් 2025-03-01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරින් විසින් අපහරණය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොම්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සදහා අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

