ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස කාර්යක්ෂම කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම හදිසි අවශ්‍යතා සඳහා ගමන් බලපත්‍ර අවශ්‍ය පුද්ගලයින්ට මෙම නව ක්‍රමය ඉතා වාසිදායක වී ඇති බවයි.
රැකියා, සෞඛ්‍ය, ආගමික සහ ක්‍රීඩා කටයුතු වැනි හදිසි අවශ්‍යතා සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත් විශේෂ කමිටුවක් මගින් ප්‍රමාදයකින් තොරව සලකා බලනු ලැබේ. මෙම කමිටුවේ නිර්දේශය මත නියෝජ්‍ය පාලකවරයා විසින් අයදුම්පත අනුමත කරන අතර, එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු කරයි.
මාර්ගගතව දිනයක් වෙන් කර ගැනීමේ පහසුකම දැනට ක්‍රියාත්මක වන අතර දිනකට දහසකට අධික සංඛ්‍යාවක් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම මාර්ගගත ක්‍රමය ජනතාව අතර ඉතා ජනප්‍රිය වී ඇත.
දෙපාර්තමේන්තුවේ සේවකයින් දිනකට පැය 16ක් පමණ සේවයේ නිරත වන අතර, එක්දින සේවාව සඳහා අවශ්‍ය සියලු කටයුතු කාර්යක්ෂමව සිදු කරයි. එසේ වුවද, දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක් පවතින බව ද වාර්තා වේ.

