කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවා සපයන විවිධ දෙපාර්තමේන්තු, ආගමන විගමන සහ රේගු පරිශ්‍රය, බැංකු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන ආදියේ නිරීක්ෂණයන් සිදු කළේය.
එම නිරීක්ෂණ කටයුතු සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ගුවන් තොටුපොළ නිලධාරීවරුන් පිරිසක් ද සහභාගී විය.
එහිදී ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් සහ ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ජනතාව වෙත ද ගොස්, ඔවුන් සමග ද සාකච්ඡා කිරීමට අමාත්‍යවරුන් කටයුතු කළහ.
නිරීක්ෂණ කටයුතු වලින් පසුව බිමල් රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොළ තුළ, ගුවන් මගීන් මිලියන 15 ක් සඳහා 2023 වසරේ නිමාවට පත් කිරීමට නියමිතව තිබූ ප්‍රධාන ව්‍යාපෘති ගනනාවක් අයථා ගණුදෙනු නිසා, එළඹෙන 2028 වසර දක්වා පසු පසට ගොස් ඇති බව ද අනාවරණය වූ බවයි.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ එම කල් ගතවී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීමට අමතරව එම අයථා ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශණ සිදුකර නීතිය ක්‍රියාත්මක කරනවාද යන්නයි.
ඊට ප්‍රතිචාර දක්වමින් බිමල් රත්නායක මහතා පැවසූවේ “බලාගෙන ඉන්න, ඉස්සරහට නිවුස් ගොඩක් තියෙයි” යනුවෙනි.

