Image

හිටපු අයගේ වැඩ කිඩ.. දුප්පතුන් හූල්ලද්දී රාජ්‍ය සේවකයින් 33,000කට අස්වැසුම.!

රජයේ සේවකයන් 33,000කට ආසන්න පිරිසක්, පෞද්ගලික අංශයේ ස්ථිර වැටුප් ලබන්නන් සහ ව්‍යාපාරිකයන් අස්වැසුම ප්‍රතිලාභීන් අතර සිටින බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේදී අනාවරණය වී ඇත.

එනිසා අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධව නැවත සමීක්ෂණයක් කර සමාලෝචනයක් කළ යුතු බවත් අස්වැසුම ලබාදීම සම්බන්ධයෙන් පැවැති සංගණනයේදී එකතු කරගත් දත්තවල අඩුපාඩු රැසක් ඇති බවද මුදල් කාරක සභාවේදී අනාවරණය වී ඇත.

අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වෙනම කමිටුවක් පත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් දී ඇති අතර ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි සහ ආර්ථික සංවර්ධන නිලධාරි යන තිදෙනාගෙන් යුත් කමිටු පත් කර මේ සම්බන්ධයෙන් සොයා බැලීමටද තීරණය කර ඇත.

මේ වනවිට අස්වැසුම නොලැබූ ලක්ෂ අටක් පමණ අභියාචනා ඉදිරිපත් කර ඇති අතර ඉන් ලක්ෂ හතරක් පමණ ඊට සුදුසුකම් ලබනු ඇතැයි රජයේ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විශ්වාස කරයි.

අස්වැසුම වැඩසටහනේ තවත් ගැටලු රැසක් පවතින බැවින් එය නැවත සමාලෝචනය කළ යුතු බවට සාකච්ඡා කළ බවද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කරයි.

දිළිඳු සහන වැඩසටහන සදහා පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 205ක් වෙන්කර ඇති නමුත් ඒ සදහා වැය කර තිබෙන්නේ රුපියල් බිලියන 180ක් පමණක් බවද අනාවරණය වෙයි.

TRENDING POST