අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමට ගුවන් හමුදාව පියවරගෙන තිබෙනවා.
ඒ අනුව, ඇතිවිය හැකි ආපදා පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා තුනක් ස්ථානගත කර තිබෙනවා.
ගුවන් හමුදාව පවසන්නේ, ඉන් ‘Bell- 412’ වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේද, ‘Bell- 412’ වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සහ පලාලි ගුවන් හමුදා කඳවුරේද ස්ථානගත කළ බවයි.
එමෙන්ම, මුදවාගැනීම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස්ද එම කඳවුරු තුළ සුදානම් කර තිබෙනවා.

