අද වනවිට මුළු මහත් රටේම ජනතාව ජාතික ජන බලවේගය සමග එක්වී සිටින බවත් එය කවදාවත් තිබුණු තත්ත්වයක් නොවන බවත් ජනතාව ඡන්ද දිනය එනකම් බලාගෙන සිටින බවද ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“පළාත් පාලන ඡන්දය පවත්වනවා කියලා දැන් අවුරුදු එකහමාරක් වෙනවා ඒක දුන්නේ නැ. ජනාධිපති ඡන්දය නොකියා ඉන්න ආණ්ඩුව පුළුවන් තරම් උත්සාහ ගත්තා. නමුත් එය නොපවත්වා සිටීමට තරම් ආණ්ඩුවට නොහැකි වුණා මීට කලින් චන්ද පවත්වන විට ඒ ගැන උනන්දුව තිබුණේ පාලකයට නමුත් අද පාලකයා ඡන්ද එපා වෙලා. රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ඡන්දේ උවමනා වෙලා.
තව අපට ඡන්දයට තියෙන්නේ ඉතාම කෙටි කාලයයි. ඒ කෙටි කාලයත් මේ ආව වගේම ශක්තිමත් වැඩ කරමු. මාලිමාව දිනවීමට කටයුතු කරමු අපි සැලසුම් කරල කරන වැඩ ප්‍රමාණයට වඩා වැඩ ප්‍රමාණයක් ජනතාව අපව දිනවීම සඳහා කටයුතු කරන බව පේනවා. ලංකාවේ ප්‍රථම වතාවට ඡන්දයක වගකීම ජනතාව විසින් පවරාගෙන තිබෙනවා.
සමාජ මාධ්‍යවල ලියන කියන අය අපි නොදන්න අය අපිව මුණ නොගැසුණු අය අපි වෙනුවෙන් ලියන්න කියන්න පටන් අරගෙන තියෙනවා. ගමේ ගමේ අය තමන්ගේ ඥාතීන් හිතුවතුන් සමඟ ඒ ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මම දැක්කා කාර්යාල වල ඡන්ද තියෙනවා. කාර්යාල ඇතුලේ කැන්වැසින් යනවා.
ත්‍රීවිල් එකට ගොඩ වුණත් ඒක වීදුරු මහත්තයා මේ කතාව කියන්න ගන්නව දොස්තර මහත්තයා ගාවට ගත් ඒ කතාව කියන්න ගන්නවා. කොණ්ඩේ කපාගන්න සැලූන් එකට ගියත් මේ කතාව එතනත් එහෙමයි. අද මුළු මහත් රටේම ජනතාව ජාතික ජන බලවේගය කරා හැරිලා තියෙනවා. මේක කවදාවත් තිබුණු තත්ත්වයක් නෙමෙයි.
වෙනදා වෙනත් දේශපාලන පක්ෂ රැස්වීම් වලට සෙනග ගේන්නේ කන්න බොන්න දීලා ඒ රැගෙන ආවහමත් විවිධ දේවල් බෙදෙනවා. නමුත් මේ සැරේ මේ අවස්ථාව තමයි දේශපාලන ව්‍යාපාරක් වෙනුවෙන් මුළුමහත් ජනතාව මැදිහත් වෙලා. ඒකෙන් කියන්නේ මේ ගොඩනැගෙන්නේ ජාතික ජන බලවේගය ක්‍රියාකාරීන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ආණ්ඩුවක් ද නැහැ. මේ ගොඩ නැගෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක්.
අපි ඔබ සැමට සහතිකයක් දෙනවා අප කෙරෙහි මේ තබා තිබෙන විශ්වාසය කුඩා ප්‍රමාණයකින් හෝ හානි වීමට ඉඩ තබන්නේ නෑ. ඒ විශ්වාසය ඒ විදියටම ආරක්ෂා කරනවා.”
ජාතික ජන බලවේග ජන රැළියක් අමතමින් අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

