මාළිගාවත්ත P.D. සිරිසේන පිටියේදී පැවති ලංකා ගුරු සේවා සංගමයේ 2024 ජාතික ගුරු සමුළුවට සහභාගී වෙමින් ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ මාලිමා ආණ්ඩුවක් යටතේ අවධානය යොමු කරන මූලික කාරණා අතර පළමු ස්ථානය අධ්‍යාපනය සඳහා ලබා දෙන බවයි.
සමුළුව සඳහා සහභාගිවී සිටි ගුරු වෘත්තිකයන් අමතමින් අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව තුළ සිදුවන අපරාධ සහ අධ්‍යාපනය මෙන්ම දිළිඳු බව සහ අධ්‍යාපනය අතරද සෘජු සම්බන්ධතාවක් පවතින බවයි.
එමෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පවතින දේශපාලන සංස්කෘතිය මුලින්මලින්ම වෙනස් කරන බවට පැවසූ අනුර දිසානායක මහතා දේශපාලඥයන්ට යටින් වෘත්තිකයන් පෙළ ගැසීමේ සංස්කෘතිය නිමා කරමින් දේශපාලඥයන් සහ වෘත්තිකයන් එක රේඛාවක හිට ගන්නා යුගයක් ඇති කරන බව අවධාරණය කළේය.