Image

ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මකයි.! – ජනපති

රටේ ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මක කර ඇති බවත් හදිසි සේවා යොදවා ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිස (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළ අතර සංචාරකයන්ගේ සහ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනපති නියෝජිතයන් දැනුවත් කළේය.

සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කළේය.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළඳපොළ ලෙසත් කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සඳහා සිය වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, යුරෝපා සංගමය තුළ රැකියා අවස්ථා වැඩි කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සහාය දැක්වීමට ඇති කැපවීම යුරෝපා සංගම් නියෝජිතයෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ තහවුරු කළහ.

එසේම, දැනුම හුවමාරු කර ගැනීම, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන්හි නව යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට ද යුරෝපා සංගමය ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ.

වෘත්තීය අධ්‍යාපනය, සමුද්‍රීය කටයුතු, ආයෝජන, සාමය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමයේ කැපවීම මෙහිදී නියෝජිත පිරිස අවධාරණය කළ අතර මෙම පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරන බවට ද ඔවුහු සහතික වූහ.

TRENDING POST