ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අණතුරු අඟවමින් පවසන්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් ගුරුවරුනගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුනහොත් ඊට එරෙහිව පාරට බැසීමට සිදුවන බවයි.
ස්ටාලින් මහතා වැඩිදුරටත් පවසන්නේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී දක්ෂයින්ට අවස්ථාව ලබාදී නොමැති බැවින් ආණ්ඩුවේ ලේකම්වරු ලෙස පත් කර ඇති බොහෝ දෙනකු තම සංගමය කිසිසේත්ම අනුමත නොකරන බවයි.
එහිදී අදහස් දැක්වූ පෝසෆ් ස්ටාලින් මහතා,
“මේ වෙනකොට අලුත් ආණ්ඩුව අමාත්‍යාංශ ලේකම්වරු පත් කරලා තියෙනවා. මේ ලේකම්වරු පත් කිරීම පිලිබඳ ඇත්තටම අපිට සෑහීමකට පත් වෙන්න බැහැ. රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන ලේකම්වරයාට විරුද්ධව ඇති චෝදනා සම්බන්ධයෙන් විගණන වාර්තා පවා තියෙනවා. එවැනි චෝදනා සහිත කෙනෙක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට පත්වෙලා තිබෙනවා.
අලුතින් පත්වුනු සමහර ලේකම්වරුන්ගේ අදක්ෂතාවන් අපි හොඳට දැකලා තියෙනවා. එහෙම අදක්ෂ අයම තමයි නැවතත් පත් කරලා තියෙන්නේ. මේක අපිට බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුව පැත්තෙන් ඒ පත්කිරීම්වලට හේතු තියෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ අය සම්බන්ධයෙන් තීරණයක් ගනියි කියලා.
නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත් වගකීමක් තියෙනවා අපේ ගැටලු විසඳන්න. රට ස්ථාවර වෙනවත් එක්කම ඊට සමාන්තරව අපේ ගැටලුත් විසඳන්න ඕනේ. එහෙම නැතුව අරක වෙනකම් මේක වෙනකන් කියලා අපිට ඉන්න බැහැ. අපි බලමු එයාලා කොහොමද එයාලගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ කියලා. අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. අපේ ප්‍රශ්නවලට විසඳුම් නොදුන්නොත් අපි ආයෙත් පාරට බහිනවා”

