Image

රනිල් හිටියා නම් IMF සිවු වැනි වාරිකයත් ගන්නවා – ශෙහාන් සේමසිංහ

‘හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේ කණ්ඩායම බලයේ හිටියා නම් අපි පළමුවැනි කාර්තුව තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හතරවැනි වාරිකය නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයතු සිදු කරනවා’’ යැයි හිටපු මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

කුමන තර්ක විතර්ක ඉදිරිපත් කළද මෙරටේ ඉදිරි ගමන තීන්දු කළ හැකි වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමග රටේ ආර්ථික රාමුව සකස් කිරීම සඳහා ඇති කර ගත් එකඟතා සම්පූර්ණ කිරීමෙන් පමණක් බවද හෙතෙම කීවේය.

එම නිසා එම අභියෝගය ජයග්‍රහණය කිරීම වර්තමාන ආණ්ඩුව සතු බවත් එසේ නොවුණ හොත් නැවත කඩාවැටීමකට ලක් වන බවත් හිටපු රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

‘‘අපේ රජය විසින් සුරක්ෂිත ආර්ථිකයක් තමයි වර්තමාන රජයට බාර දීලා තියෙන්නේ. ඒ අනුව මේ රට බංකොලොත්භාවයෙන් තොර රටක් බවට පරිවර්තනය කරලා තමයි වර්තමාන ජනාධිපතිවරයාට රට බාර දීලා තියෙන්නේ. ඒ නිසා එය ආරක්ෂා කර ගැනීමේ වගකීම වත්මන් ජනාධිපතිවරයා සතු වගකීමක්.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලබා ගැනීම සඳහා රට හමුවේ තබපු පොරොන්දු ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි එම පොරොන්දු ඉටු කිරීමේදී අපි විශ්වාස කරනවා මේ රටේ සමස්ත ආර්ථිකයට ඍණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට පොරොන්දු ඉටු කරන්න කටයුතු කරයි කියලා.

මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ආදායම සියයට දහතුනයි දශම එකක් (13.1). එතකොට ලබන වසර වන විට රාජ්‍ය ආදායම සාමාන්‍ය සේවාවන් පවත්වාගෙන ගිහින් ශක්තිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය වෙන්න සියයට 15ක් දක්වා වැඩි කර ගත යුතුයි.

සෑම දේශපාලන පක්ෂයකම වගකීම වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තවත් ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යාමට වර්තමාන ආණ්ඩුවට සහාය දැක්වීම. මොකද යම්කිසි කණ්ඩායමක් හිතනවා නම් දේශපාලනිකව වර්තමාන ආණ්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බාධා කරනවා කියලා ඒක මේ රටේ මිලියන 22ක් වූ ජනතාවට කරන විශාල බරපතළ අපරාධයක් බවට පත්වෙනවා.’’

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.