පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙසට යොදා ගැනීමට එම විහාරාධිපතිවරුන් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සදහන් කරයි.
කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සදහන් කළේ,
“2024 නොවැම්බර් (14) වෙනිදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කර තිබෙනවා. ඒ අනුව නියමිත පරිදි නොවැම්බර් මාසයේ (14) වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙනවා.
ඒ වගේම පසුගිය දිනවල සමාජයේ කතිකාවතක් තිබුණා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ආශ්‍රිතව කඨින පුජා පිංකම් පැවැත්වෙන නිසා ඡන්ද විමසීමට බාධාවක් බවට යම් යම් සංවිධානවලින් පැමිණිලි සහ යම් අදහස් පළ වෙමින් තිබුණා. ඒ අනුව අපි සියලුම දිස්ත්‍රික්වල තේරීම්භාර නිලධාරීන් මඟින් අදාළ විහාරස්ථානවල හිමිවරුන්ගෙන් මේ ගැන කැමැත්ත විමසා සිටියා.
විහාරස්ථාන 2,263ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. එයින් විහාරස්ථාන 2,203ක විහාරාධිපති හිමිවරු කැමැත්ත පළ කරලා තියෙනවා. කඨින පිංකම් නිසාවෙන් විහාරස්ථාන 45ක සහ වෙනත් හේතු මත විහාරස්ථාන 15කුත් ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගැනීමේ හැකියාවක් නෑ. එම ස්ථානවල තිබුණ ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවලට මාරු කරලා තියෙනවා.”

