Image

මුහුණ වසාගත් ඝාතකයා නවය කියනකොට වෙඩි.. සංජීවගේ අවසන් වචනය පරීක්ෂණයෙන් හෙළිවෙයි.!

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය ඊයේ (24) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කෙරිණ.

*වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සේවයේ නියුතුව සිටි කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් හේවාපතිරණගේ තරංග සාක්ෂි දෙමින් සදහන් කළේ,

“එදින යෙදිලා තිබුණේ ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමයි. පෙරවරු 9.40ට පමණ අධිකරණ ශාලාවේ වසා දමා තිබූ දොර විවෘත කරමින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සැකකරුවකු විවෘත අධිකරණය තුළට රැගෙන ආවා.

එක් බන්ධනාගාර නිලධාරියකු මා අසලට පැමිණ කිව්වා ගණේමුල්ල සංජීව අරන් ආවා කියලා. මම සැකකරුව සිරමැදිරියට දාන්න කිව්වා. ඒ වෙලාවේ බන්ධනාගාර නිලධාරියා කිව්වා මේ සැකකරුට හතුරෝ ඉන්න නිසා කූඩුවේ දාන්න බෑ කියලා. පස්සේ බංකුවේ වාඩි කරන්න කිව්වා.

මහෙස්ත්‍රාත්වරිය විමසුවොත් ඔබතුමාලම හේතු පැහැදිලි කරන්න කියලත් මම බන්ධනාගාර නිලධාරියාට පැවසුවා. පසුව මේ සැකකරුව බංකුවේ වාඩි කෙරෙව්වා. නඩු තිහක් පමණ skype තාක්ෂණය ඔස්සේ ගත්තාට පසුව skype සම්බන්ධතාවය බිඳ වැටුණා.

පසුව ගණේමුල්ල සංජීවගේ නඩුව කැඳෙව්වා. විත්තිකරු විත්ති කූඩුවට ඉදිරිපත් කළා. ඒ වෙලාවේ මහෙස්ත්‍රාත්තුමිය සැකකාර ගනේමුල්ල සංජීවගෙන් විමසුවා නඩුවට ඇප තිබ්බද කියලා. ඒ වෙලාවේ ගණේමුල්ල සංජීව සඳහන් කළා ඇප තියන්නේ නැහැ කියලා.

ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරියාගෙන් ප්‍රශ්න කළා අධිකරණ නියෝග නැතුව ඇයි මේ සැකකරු රැගෙන ආවේ කියලා. ඊට පිළිතුරු දීම සඳහා බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා. ඔහුට නවය කියන වචනය පමණයි කියන්නට ලැබුණේ.

එකපාරටම වෙඩි ශබ්ද තුන හතරක් ඇසුණා. ඇතුළේ සිටි පිරිස කෑ ගහන්න පටන් ගත්තා. නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් විත්ති කූඩුව පැත්තට හැරිලා යමක් කරනව දැක්කා. ඒ සමග තමයි වෙඩි ශබ්ද ආවේ. මම ඒ පුද්ගලයාගේ මුහුණ දැක්කේ නෑ. නිල් පාට ටයිපටියක් ඇඳ සිටියා.

පසුව ඒ පුද්ගලයා දොර ඇරගෙන පිටට පැන ගියා. අතේ මොකුත් තිබ්බේ නෑ. පසුව මම විනිසුරු ආසනය දෙස බැලුවා. එහි විනිසුරුතුමිය හිටියේ නෑ. පසුව අපි පරීක්ෂා කළා. පසුව විනිසුරුතුමිය බෙන්ච් එක යට තමයි සිටියේ. පසුව අපි ඇයව ආරක්ෂිතව නිල මැදිරියට රැගෙන ගියා.

මහෙස්ත්‍රාත්තුමිය කම්පනයකට පත්වී සිටියා. පසුව වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකාර ගනේමුල්ල සංජීව විත්ති කූඩුව තුළ උඩුබැලි අතට අතට වැටී සිටියා.”

*අනතුරුව සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සිටි නීතිඥවරයෙකු වන ප්‍රියන්ත පුෂ්පකුමාර සමරනායක සදහන් කළේ,

“පෙරවරු 9.30 ට පමණ නඩු කටයුතු ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී උස පුද්ගලයෙකු ෆයිල් කවරයකින් මුහුණ වසාගෙන අධිකරණ ශාලාව තුළට පැමිණියා. ඔහුගේ ඇස් විතරයි මම දැක්කේ. මම මේ පුද්ගලයා නීතිඥවරයෙක් කියලා හිතුවේ නෑ.

මම හිතුවා මේ පුද්ගලයා සී.අයි.ඩී එකේ හෝ නාකොටික් එකේ ඔෆීසර් කෙනෙක් කියලා. පසුව ගණේමුල්ල සංජීවගේ නඩුවක් කැඳෙව්වා. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුව විත්ති කූඩුවට ඉදිරිපත් කළා. මහෙස්ත්‍රාත්තුමිය ඇහුවා සැකකරු ගෙන් ඇප තියල ද කියල.

ඔහු කිව්වා ඇප තියන්නේ නැහැ කියලා. පසුව මහෙස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසුවා අධිකරණ නියෝග නැතුව ඇයි අරන් ආවේ කියලා. ඊට බන්ධනාගාර නිලධාරීන් යමක් ප්‍රකාශ කළා. ඒ සමගම අර උස පුද්ගලයා පිටිපස්සෙන් යමක් අරගෙන සංජීව දෙසට එල්ල කලා. ඒ සමඟම වෙඩි සද්ද ආවා.

වෙඩි සද්ද පහක් පමණ ඇසුණා. පසුව ඒ පුද්ගලයා පිස්තෝලය බිම දමා දොර ඇරගෙන පිටව ගියා. පසුව රුක්ෂාන් කියන නිලධාරියා ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා කෑ ගැහුවා. කට්ටිය කෑගහන්න පටන් ගත්තා. සංජීව කූඩුවේ වැටිලා හිටියා මම දැක්කා”

TRENDING POST