සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අද (14) එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇතුළු දෙහිවල ගල්කිස්ස සහ බොරැල්ල ආසන සංවිධායකවරුද සහභාගී වූහ.
එහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර පවසා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු සමගි ජන බලවේගයට නායකත්වය දීම සඳහා සුදුසුම කාන්තා නියෝජනය බවයි.
සටන්කාමී, අධිෂ්ඨානශීලී සහ ධෛර්යවන්ත කාන්තාවක් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හඳුන්වා දුන් මහලේකම්වරයා තම පියාගේ අඩි පාරේ යමින් දේශපාලනයේ යෙදෙනා ජව සම්පන්න කාන්තාවක් ලෙස ඇගේ කැපවීම අගෙය කළේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එළඹෙන මහ මැතිවරණයේදී හිරුණිකා මහත්මිය කොළඹින් අනිවාර්යයෙන්ම පළමු ස්ථානයට පත්වනු ඇති බවයි.
එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත්වීමෙන් පසු හිස්වන මන්ත්‍රී ධූරය සඳහා ලැයිස්තුවේ ඊළඟට සිටිනා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අවස්ථාව හිමිවන බව පැවසූ ලේකම්වරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මන්ත්‍රීවරියක් ලෙස දිව්රුම් දීමට හිරුණිකාට අවස්ථාව ලබා දෙන බවද පැවසුවේය.