ජාතික ජන බලවේගයේ කොටිකාවත්ත ජන හමුව ඊයේ (19) දිනයේ පැවැත්වුණේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන්.
එම ජන හමුව සඳහා ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරීන් විද්වතුන් කලාකරුවන් සහ තවත් පිරිසක් සහභාගී වී සිටියහ.
ජන හමුව අමතමින් දිසානායක මහතා පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී කොලොන්නාව ප්‍රදේශයෙන් මාලිමාව දිනවීමට අති විශාල ජන වරමක් අවශ්‍ය බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කොලොන්නාව යනු රටේ ජනතාව කුඩු පුරය, පාතාල පුරය ලෙස හඳුන්වන ප්‍රදේශයක් බැවින් තම රජයකට එහි වැඩ කටයුතු ටිකක් සිදු කිරීමට ඇති බවයි.
එමෙන්ම මෙම ප්‍රදේශය කේන්ද්‍ර කරගත් කුඩු ව්‍යාපාරිකයින්, කුඩු ගෙන්වන මන්ත්‍රීවරුන්, පාතාල නායකයින් ඇතුළු බොහෝ පිරිසක් සිටිනා බව නොරහසක් බවත් කොලොන්නාව සුද්ද කිරීමේ වගකීම ජාතික ජන බලවේගය විසින් බාරගන්නා බවත් දිසානායක මහතා අවධාරණය කළේය.
කුඩු, පාතාලය සහ දේශපාලනය යනු එකට ඈඳී ඇති සංකීර්ණ හවුලක් බැවින් එය මුළුමනින්ම අතුගා දැමීමට නම් එම ගනු ලබන තීරණ දැඩි තීරණ විය යුතු බවත්, ඒ සඳහා ජනතාවගේ ශක්තිමත් කැමැත්තක් සහිත ජන වරමක් තිබිය යුතු බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.