Image

මහ මැතිවරණයෙන් පසුව මීළඟ විපක්ෂ නායක කවුද.?

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් විශ්‍රාම ගැනීම සහ මහ මැතිවරණයට තරග නොකිරීම නිසා මහ මැතිවරණයෙන් පසුව විපක්ෂ නායක ධුරය හිමිවන්නේ කාටද යන්න දේශපාලන විචාරකයින්ගේ දැඩි කතාබහට ලක්ව ඇත.

විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සන්ධාන කැඩී බිඳී ගොස් විපක්ෂයේ බලය දියාරු වී ගොස් ඇති මෙවන් අවස්ථාවක මීළඟ විපක්ෂනායකවරයා කවුරුන් විය හැකිද.? ඔහුට ප්‍රබල විපක්ෂයක් විය හැකිද.? ඔහුට විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට හැකි වේද.? යන්න දැඩි කතාබහට ලක්ව ඇත.

ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයකින් පාලක පක්ෂයට බලය ගිලිහුණු බොහෝ අවස්ථාවල එහි වාසිය ලබා ගනු ලැබුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ වන අතර එහෙත් පාර්ලිමේන්තුවේ ආසන 3ක් හිමිකර ගෙන සිටි ජාතික ජන බලවේගය මෙවර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස කටයුතු කරයි.

මේ වනවිට ආසන වැඩි සංඛ්‍යාවක් හිමිකර ගනිමින් විපක්ෂ නායක ධුරය සදහා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස, සර්ව ජන බලය නායක දිලිත් ජයවීර, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් රුවන් විජේවර්ධන තරග වදී.

මෙතෙක් නිවේදනය කර නැතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නායකයා ලෙස මෙවර මහ මැතිවරණයට තරග නොකළද යම් ලෙසකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස හෝ යළි පාර්ලිමේන්තුවට පැමිණිමට සූදානම් බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂයේ පක්ෂවලට ඇති මහජන ප්‍රසාදය මේ වනවිට අඩු වෙමින් පවතින අතර පසුගිය පාර්ලිමේන්තුවේ එම දේශපාලන පක්ෂවලට පැවති සංයුතිය තවදුරටත් පවතින්නේ නැති බව මේ වනවිට පෙනෙන්නට ඇත.

කෙසේ වෙතත් පක්ෂයක් ලෙස ආසන වැඩි සංඛ්‍යාවක් හිමිකර ගනිමින් විපක්ෂ නායක ධුරයට පත්වීමට එම දේශපාලන පක්ෂවල නායකයින් අතර මේ වනවිට තරගයක් පවතී.

TRENDING POST