Image

පාස්පෝට් පෝලිම් අවසන්.. නිකුත් කිරීම වේගවත් කරයි.!

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන දෙසැම්බර් මස මුල සිට වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත් එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සදහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ හිස් ගමන්බලපත්‍ර 50,000ක් මේ වනවිට දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත් ඉදිරියේදී හිස්ගමන් බලපත්‍ර ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් ලැබීමට නියමිත බවද සදහන් කරයි.

නොවැම්බර් මස අග භාගයේදී තවත් 100,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද, දෙසැම්බර් මාසයේදී තවත් 150,000ක පමණ හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක්ද වන ලෙස 750,000ක හිස් විදෙස් ගමන්බලපත්‍ර තොගයක් ඉදිරියේදී ලැබීමට නියමිත බවද සදහන් කරයි.

තවත් හිස්ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවත් මේ වනවිට දිනකට 1,600ක පමණ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් අයදුම්කරුවන් වෙත නිකුත් කරන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම තොගය ලැබීමත් සමග දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන් බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකිවනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

TRENDING POST