පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ඉල්ලීම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති විරෝධතාවක් හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා විය.
කෙසේවෙතත් අද (02) දින පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවක් දහවල් වන විට උණුසුම් මුහුනුවරක් ගත් අතර මෙම සිදුවීමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකු බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ගැටුම අතරතුරදී විරෝධතාකරුවන් විසින් පොලීසියට පහරදී ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල් වරයෙකුට කැපුම් තුවාල සිදුකර තිබේ.
මෙම විරෝධතාවට පාසල් සංවර්ධන නිලධාරීන් 500කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර විරෝධතාකරුවන් පොදු මාර්ගය අවහිර කිරීම හේතුවෙන් පොලිසිය විසින් විරෝධතාකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ තත්ත්වය උත්සන්න විය.
අත්අඩංගුවට ගත් සිය සගයන් නිදහස් කරන තෙක් විරෝධතාව නතර නොකරන බව විරෝධතාකරුවන් ප්‍රකාශ කරමින් එම ස්ථානයේ රැඳී සිටියහ.
පාසල් සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳව ඊයේ (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයන්ට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බව අවධාරණය කිරීමෙන් පසුව මෙම විරෝධතා ආරම්භ විය.

