Image

පොහොට්ටු මන්ත‍්‍රීන් 350ක් රනිල්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්  ප්‍රතිඥා දෙති.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පොළ, කාර්යාලයේ පැවති ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදි මෙම පිරිස මෙම ප්‍රතිඥාව ලබා දුන්හ.

ඉකුත් මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු තේරී පත්විය. ඉන් මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්  පාර්ලිමේන්තුවට පත්වූ නාලක ගොඩහේවා මහතා මීට මාස කීපයකට ඉහත දී සමඟි ජනබලවේඟයට එක්විය.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර හා ඉන්දික අනුරුද්ධ පක්ෂයේ තීරණය අනුව කටයුතු කරන අතර මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ස්ථාවරය තවමත් පැහැදිලි නැත. එහෙත් ඇයගේ සමීපතමයන් පවසන්නේ ඇය ද ජනාධිපතිවරයාට සහය දැක්වීමට සූදානමින් සිටින බවයි.

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු හා මන්ත්‍රී නිමල් ලාංසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටය ද ඔවුහු ජනාධිපතිවරයාට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද ජනාධිපතිවරයාට සහය පලකරනු ලබයි.

ඒ අනුව ඊයේ පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම සදහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිලාන් ජයතිලක,සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂනී ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු  පළාත් සභා මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 13 ක් හා පළාත් පාලන ආයතන නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් 350ට ආසන්න පිරිසක් ද සහභාගී වූහ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන සංඛ්‍යාව 19කි. ඉන් ගම්පහ මහනගර සභාවේ හිටපු සභාපතිවරයාත්, ගම්පහ, බියගම, ජා ඇල, කැලණිය, මහර යන ප්‍රාදේශීය සභා හා මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපතිවරයා පොහොට්ටුවේ මතයට පක්ෂව කටයුතු කරති. ඔවුන්ට ආසන සංවිධායකකම් දැනටමත් යෝජනා වී ඇතැයිද දැනගන්නට ඇත. එහෙත් එම ප්‍රාදේශීය සභා සහ නගර සභාවල හිටපු උප සභාපතිවරු හා බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබේ.

මේ අතර ඉකුත් දා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටියේ පැවති රැස්වීමට සහභාගී වී තිබෙන්නේ 123 කු පමණක් බවද වාර්තා වේ. එම රැස්වීමට පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා තිබුණද ඊට සහභාගී වී ඇත්තේ හිටපු පලාත් පාලන සභාපතිවරුන් 06කු ඇතුලු මන්ත්‍රීවරුන් 20 කටත්  අඩු සංඛ්‍යාවක් පමණි. අනෙකුත් පිරිස මන්ත්‍රීවරුන් නොවන පිටස්තර පුද්ගලයන් බවද එම  ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර එම රැස්වීමට සහභාගී වූ කටුනායක – සීදුව නගර සභාවේ හිටපු සභාපති චමිල් නිශාන්ත මහතා  ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඊයේ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට පැමිණ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවට ප්‍රතිඥා දුන්හ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4) පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම සඳහා කැඳවා තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පමණි. ඒ අනුව මෙම රැස්වීමට පැමිණි ඔවුන්ගේ ආධාරකරුවන්ට රැස්වීම් භූමියෙන් ඉවත්ව වෙනත් ස්ථානයකට යන ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කළද  තමන් අදටත්  ශ්‍රී ලංකා පොදුජන සාමාජිකයකු බවයි. පක්ෂය තමන්ට තනතුරු ලබා නොදුන්නද ජනතාව ලබාදෙන තනතුරු තමන්ට ප්‍රමාණවත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ,

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

“අද දිස්ත්‍රික් නායක කියන දේටත් රණ්ඩු වෙනවා. මම ප්‍රසන්න රණවීරට නාමයෝජනා දෙන්න ෆීලික්ස් පෙරේරා එක්ක රණ්ඩු උනා. බොහොම අමාරුවෙන් උනත් එතුමව අරගෙන අපි පක්ෂය ජයග්‍රහණය කලා. මම රටට ආදරෙයි. මහින්ද පරදින කොට මහින්දට ආවඩපු මිනිස්සු ගියා. නමුත් මම හිටියා. මහින්ද සුළඟ රට වටේ ගෙනියනකොට මම තමයි රැස්වීම් සංවිධානය කළේ. නමුත් මම හිටියේ හැමදාම පිටිපස්සේ. මේ පළාත් පාලන මන්ත්‍රීවරුන් තමයි මාව නායකයෙක් බවට පත් කළේ.

අගමැතිකම මට දෙන්නත් යෝජනා වුණා. මම ගත්තේ නෑ. අපි දැනගන්න ඕන ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න.

අද පක්ෂයේ සමහරු ප්‍රතිපත්ති ගැන කතා කරනවා. එතුමගෙ ප්‍රතිපත්තිය ගැලපෙන්නේ නැත්නම් අවුරුදු දෙකක් තිස්සේ ඇමතිකම් අරගෙන බම්බු ගැහුවද.

අර්බුදයෙන් පසු රට නැවත ගොඩගන්න ජනාධිපතිතුමා වැඩ කරගෙන යනවා. මේ අය රට ගැන හිතන්නේ නෑ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩ කරනවා. අපේ පක්ෂයෙන් දාන අපේක්ෂකයා කවුද කියලවත් කියන්න මම දන්නේ නෑ. මම තවමත් උත්සාහ කරනවා පක්ෂය එකට තියාගෙන යන්න. මම සති දෙකකට කලිනුත් මහින්ද මහත්තයා එක්ක සාකච්ඡා කළා. මම වගකීමෙන් කියනවා එතුමත් කැමති වුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය දෙන්න. එහෙම නැත්නම් ස්වාධීන තීරණයක් ගන්න කියලා එතුමා අපිට කිව්වා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා  මෙසේ පැවසීය.

අපි ගිනිපෙනෙල්ලෙන් බැට කාලා කණාමැදිරි එලියටත් බයවෙලා හිටිය මිනිස්සු. අපේ අවුරුදු ගණනක වැඩසටහන් විනාස උනා. අරගලය වෙලාවෙ අපේ ගම්පහ දිස්ත්‍රික්කය මොනතරම් පීඩා වින්දද. එදා ආබාධ උන අය තවම පීඩා විදිනවා. ඒ වගේ තත්ත්වයකදි දැන් කතා කියන කවුරුත් හිටියෙ නෑ. ආයෙත් වැරදි තීන්දුවක් ගත්තොත් අපිට වැරදෙනවා. රටේ ආරක්ෂාව, පාක්ෂිකයන්ගේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව අපිට දෙන්න බැරිනම් රාජ්‍ය පාලනය ඇතුළේ අපි අසාර්ථකයි.

ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් බහුතර කණ්ඩායමක් සිටින්නේ අපි සමග. ඉතින් අපි සියලුදෙනාම එකතුවෙලා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදිය යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

එදා පාර්ලිමේන්තුවේ අරගලකාරී තත්ත්වයක් ඇතිවෙලා පාර්ලිමේන්තුවේ විසංවාදී තත්ත්වයක් ඇති උන වෙලාවේ මම සූදානම් උනේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාට සහාය දෙන්න. නමුත් පක්ෂයේ තීන්දුව විදියට අපි එදා රනිල් වික්‍රමසිංහට ඡන්දය දුන්නා. එදා අපිට කිව්වා එතුමට ඡන්දෙ දීලා ගමට එන්න එපා කියලා. නමුත් අද අපි දුන්න ඡන්දය නිසා බයක් සැකක් නැතුව අපි ඡන්දයේ ප්‍රතිඵල භුක්ති විදිනවා. අපි කල්පනා කරන්නට ඕන පාරට බහින්න බැරුව, පාරක් තොටක් හදාගන්න බැරුව සංවර්ධනය නවතිනකොට අපි මහජන නියෝජිතයෝ වශයෙන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි උනා.

නමුත් අද ඒ සංවර්ධනය සිදුවෙනවා. අපි සංවර්ධන මාවතකට ඇවිල්ලා තියෙනවා. ග්‍රාමීය මට්ටමේ සංවර්ධනයට අත දීලා තියෙනවා. 

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය මෙසේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහත්කයාට මේ රට භාරදෙනකොට විශේෂ මුකුත් ලැබුණේ නෑ. තිබුණ ආණ්ඩුවමයි එතුමට ලැබුණේ. අත්දැකීම් මත එතුමා බංකොළොත් උන රට අපේ ආණ්ඩුවක් සමග එකතු වෙලා ගොඩගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අපි යන්නෙ වැල් පාලමක කියලා. අපි ඒකෙ බාගයක් දුර ඇවිල්ල ඉවරයි. අපිට හැරෙන්න බෑ. ඉදිරි අවුරුදුපහ මෙරට ආර්ථිකයට තීරණාත්මකයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජයග්‍රහණය මේ රටට අවශ්‍යයි.

සමහරු කියනවා අපිට 30% ක කෝටාවක් හම්බවෙන නිසා අපෙන් ඉවත් උනා කියලා. හැබැයි ඒ විෂබීජය වැරදියි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා මෙසේ පැවසීය.

ඊයෙත් දිවුලපිටියේ මේ වගේ රැස්වීමක් තිබුණා. හැබැයි මුදල්වලට. ලක්ෂ දහය ගානෙ අවස්ථා දෙකකදි ලබාදෙන පොරොන්දුවට. නමුත් අද ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගෙ එක වචනෙට ගම්පහ පලාත් පාලන ආයතන නියෝජිතයෝ එක තැනකට එක් රැස් වෙලා තියෙනවා. මුදලට නොයන සැබැවින්ම රට ගැන හිතන ඔබ වැනි අයට අපි ගරු කරනවා. එදා අපි කඩවතට ජනගගක් පුරවනකොට අපිට තර්ජන ආවා. නමුත් අපි කීවේ එක දෙයයි. එකතු වෙලා ජයගන්න විතරයි අපිට පුලුවන් කියලා. එදා එක්සත් ජාතික පක්ෂයත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග එකතුවෙලා ඒ පණිවිඩය රටටම දුන්නා. ඒ හින්දම ජනතා නායකයෝ විදියට අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට එකතු උනා. මේ වෙනකොටත් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිතුමා වටා එකතු වෙලා ඉන්නවා.

තව දැවැන්තයන් කීපදෙනෙක් ඉන්නවා. ඒ අයත් ළගදිම අපිත් එක්ක එකතු වෙනවා. පක්ෂෙන් තීරණය කරලා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා.

නොදන්න කෙනෙකුට පක්ෂව අපි කොහොමද වැඩ කරන්නේ. සල්ලිවලට යටවෙන්න කිව්ව පලියට අපි කොහොමද ඒක කරන්නේ. එදා වියත්මග කියලා එකක් ඇවිල්ලා ගෝඨාභය ජනාධිපති කරමු කිව්වා. හැබැයි අවසානෙදි එක බඩවැල කඩාගෙන ආපු මහින්ද රාජපක්ෂ මහත්තයව අගමැතිකමෙන් අයින් කලා. බැසිල් රාජපක්ෂ මහත්තයව මුදල් ඇමතිකමෙන් අයින් කලා. පවුලට බේරගන්න බැරි උන අය අපි කොහොමද ආරක්ෂා කරන්නේ. අපි හුදෙකලා වෙලා අයින් වෙලා හිටියේ. දැන් අපි එකමුතු වෙලා ජයග්‍රහණය කරන්න සූදානම්.

අපි කාටත් නිදහස දුන්නේ කවුද? පාර්ලිමේන්තුව පලාත් පාලන ආයතන ආරක්ෂා කලේ කවුද? දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කලේ කවුද? ඒ කෙනාට අපි සහයෝගය ලබාදෙනවා.

හිටපු පළාත් සභාමන්ත්‍රී ගුණසිරි ජයනාත්, අත්තනගල්ල ප්‍රාදේශීය සභාපති, හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලංකා පෙරේරා දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉන්දික ජයසිංහ, ජා ඇල නගර සභාවේ හිටපු සභාපති ශම්මික ඩයස් යන අය මහත්වරුන්ද කතා කළහ.

TRENDING POST