Image

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක් – මාලිමාව කී දේ බැරිනම් මා සම්මත කල දේ හෝ කරන්න

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස තමන් ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් ලබන ජනවාරි මාසයේ සිට එම වැටුප් වැඩිවීම ලබාදීමට සැලසුම් කර තිබූ බවත් වැටුප් වැඩිවීම ලබා නොදෙන්නේ නම් ඒ සඳහා වෙන්කර ඇති මුදල් කොහිදැයි රජය වහා හෙළිකළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අපේ ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ නීත්‍යානුකූලභාවය ගැන කරුණු පැහැදිලි කරන්න හිතුවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අප ගෙන ඇති කැබිනට් තීරණය ගැන පැහැදිලි කළොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය යටතේ අපි ඒ කාර්යය කර තිබෙනවා. සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා තමයි අපි වැටුප් වැඩිවීම කළේ.

වැටුප් වැඩිවීමේ ඉල්ලීම සාධාරණයි. වසර 2022 වන විට මිනිසුන්ගේ වැටුප්වල වටිනාකම සියයට පනහකින් අඩු වී තිබෙනවා. ඔවුන් අමාරුවෙන් ජීවත් වුණා. ඔවුන්ට ණය වීමට සිදු විය. සමහර අයට ඔවුන්ගේ දේපළ විකිණීමට සිදු විය. මම භාරගත්ත මුල් දවස්වල සහන දෙන්න පුළුවන් තත්ත්වයක තිබුණේ නැහැ. මම එය රටට ප්‍රකාශ කළා. සමහරු පඩිය විසිදාහකින් වැඩි කරන්න කිව්වා.

2024 දී මම රුපියල් දස දහසකින් පඩි වැඩි කළා. ඒත් ඒ රුපියල් දහදාහ මදි. මුදලේ වටිනාකම සියයට පනහකින් අඩු වුණාම මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා. සමහර ළමයි උදේට කන්නේ නැතුව ඉස්කෝලේ එන වෙලාවල් තියෙනවා. බොහෝ පවුල්වල දරුවන් උපකාරක පන්ති යන එක නැවැත්තුවා. අද හොඳ හෝ නරක හෝ උපකාරක පන්ති අවශ්‍යයි. මේ සමාජ ක්‍රම කඩා වැටෙනවට මම කැමති වුණේ නැහැ. ඒ අනුව රජයේ සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මා උදය සෙනෙවිරත්න කමිටුව පත් කරනු ලැබුවා. තීරණයක් ගැනීමට ඔවුන්ට මාස තුනක කාලයක් ලබා දී ඇත. නමුත් කමිටුව ඊට කලින් වාර්තාව දුන්නා.

මම ඒ ගැන කමිටු සභාපති උදය සෙනෙවිරත්න මහතාගෙන් ඇහුවා. මෙය විශාල ගැටලුවක් බැවින් ඒ සඳහා උදව් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මම ඇහුවා අදාළ පඩි වැඩි කරන්න කීයක් වියදම් කරනවද කියලා. මම භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ඇහුවා කිව්ව මුදල දෙන්න පුළුවන්ද කියලා ඇහුවම ඒ මුදල දෙන්න බෑ කිව්වා. අපේ අයවැයෙන් මේ මුදලට සහය දෙන්න බැහැ කියලා භාණ්ඩාගාර ලේකම්වරයාත් දැනුම් දුන්නා. මම උදය සෙනෙවිරත්න මහතාට කිව්වා ඒ කාරණය දැනුම් දෙන්න කියලා. මම ඒ අයටත් කිව්වා ජනාධිපති ලේකම්තුමා එක්ක සාකච්ඡා කරලා අදාළ වැටුප් වැඩි කරන්නේ කොහොමද කියලා.

පසුව ඔවුන් මට දන්වා සිටියේ ඔවුන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇති බවත් එකවර වැටුප් වැඩිවීමක් ලබා නොදී සියයට පනහක් එක් වසරකදීත් ඉතිරි පනහ අනෙක් වසර තුළත් ලබාදිය හැකි බවත්ය.

ඒ වෙලාවේ මම මුලින්ම සාකච්ඡා කළේ මගේ ලේකම්වරයා වූ සමන් ඒකනායක එක්ක. මම මගේ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සමඟත් සාකච්ඡා කළා. අවසානයේ අපි එකඟතාවකට ආවා මේ වැටුප් වැඩිවීම දෙන්න.
එකඟ වූ පරිදි වැටුප් වැඩි කළත් මුදල්වල අගය අඩුවීමේ අවාසිය පියවා ගැනීමට නොහැකි වෙනවා. නමුත් මෙම තීරණය සැලකිය යුතු සහනයක් ගෙන දෙන බව අපි දැන සිටියෙමු.

ඒ අනුව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව මම ඉදිරිපත් කළා. මම ජනාධිපතිතුමා විදියට ඒ කැබිනට් ලියවිල්ලට අත්සන් කරලා තියෙනවා. ඒ අනුව මෙම තීරණයට භාණ්ඩාගාරයෙන් අදහස් අවශ්‍ය නොවේ. කැබිනට් මණ්ඩලයට ඕනෑම තීරණයක් ගන්න පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ එක්සත් රාජධානියේ කැබිනට් අත්පොත අනුවයි.

සාමූහික තීරණය කුමක්ද යන්න සාරාංශ කිරීම අමාත්‍ය මණ්ඩලයේ සභාපතිවරයාට පවරා ඇති අතර එය අමාත්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලය විසින් සටහන් මගින් නියම කර ඇති බව සඳහන් වේ.

ඒ කියන්නේ අපි තීරණයක් ගන්න ඡන්දය ඉල්ලන්නේ නැහැ. එම තීරණය කැබිනට් මණ්ඩලයේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත. එය 4:3 වගන්තියේ සඳහන් වේ. අපි එම තීරණය වාර්තා කර තිබෙනවා.

සාමූහික තීරණ ගැනීම සඳහා නිශ්චිත විධිවිධාන තීරණය කිරීම වත්මන් රජය සතු බව 4:7 වගන්තියේ සඳහන් වේ.

සමහර විට අපි කඩදාසි නොමැතිව තීරණ ගන්නෙමු. විෂයභාර අමාත්‍යවරයාගේ අදහස්වලට විරුද්ධව අදහස් ලබාගන්නවා.

මම හිතන්නේ නැහැ මගේ මිත්‍ර විජිත හේරත් මහත්තයා මීට කලින් කැබිනට් එකක ඉඳලා තියෙනවා කියලා. අපේ රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි.

අමාත්‍යාංශයක් යනු සංවිධානයකි. සංවිධානයට නීති නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වගන්තිය යටතේ අමාත්‍යාංශය මෙහෙයවනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. අමාත්‍යාංශය අමාත්‍යවරයාගේ නියෝගය යටතේ ලේකම්වරයා විසින් පවත්වාගෙන යනු ලබයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ඇතැම් විට අමාත්‍යාංශයේ යෝජනා අනුව කැබිනට් මණ්ඩලයට යැවීමට පත්‍රිකා එවන විට මම ඇතැම් විට ඊට එකඟ වී අත්සන් කරනවා. මම යම් ලිපි ලේඛනවලට එකඟ නොවන්නේ නම්, මම මගේ මතය කියන්නම්.

ජනාධිපතිවරයා වශයෙන් මම අදාළ වැටුප් වැඩි කිරීමේ යෝජනාවට අත්සන් කරන විට මම අත්සන් කරන්නේ ජනාධිපතිවරයා ලෙස පමණක් නොවේ. ඒ ජනාධිපතිවරයාට අයත් සියලුම අමාත්‍යාංශවල අමාත්‍යවරයා ලෙසයි.

මම මුදල් ඇමැතිවරයා විදියට මේ වැටුප් වැඩිවීම ඉදිරිපත් කළා. ජනාධිපතිවරයා ලෙස අදාළ පත්‍රිකාවට අත්සන් කිරීමේදී නැවත මුදල් අමාත්‍යාංශය ලෙස ලිපි ශීර්ෂ ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත. ජනාධිපතිවරයා ලෙස අත්සන් කිරීම නීත්‍යානුකූලයි.

ඒ අනුව අදාළ රජයේ සේවක වැටුප් වැඩිවීම ගෙවිය යුතුයි. ඒ වැටුප් වැඩිවීම අපට ලබාදෙන්න පුළුවන්. අපි මේ වැටුප් වැඩිවීම අනුමත කර තිබෙන්නේ නිසි සැලකිල්ලෙන් පසුවයි.

ඒ වගේම මම මේ වැටුප් වැඩිවීම දෙනකොට සලකා බැලූ තවත් කාරණයක් තියෙනවා. ඒ කියන්නේ අපේ රාජ්‍ය ආදායම ලබන වසර වන විට සියයට දොළහක සිට සියයට දහතුන දක්වා වැඩි කර ගත යුතුයි. ඒ අනුව මම මේ වැටුප් වැඩිවීම අනුමත කර තිබෙනවා.

අදාළ වැටුප් වැඩිවීම ලබාදීමට මුදල් තිබෙනවා. සල්ලි නෑ කිව්වොත් ඒක අමුතුම කතාවක්. පඩි වැඩි කරන්න සල්ලි කොහෙන්ද කියලා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි.

මේ වැටුප් වැඩිවීම කල් දමන්න එපා. මොකද මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි නිසා.

මාලිමාවෙන් දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි නම් අප දුන් පොරොන්දු ඉටු කරන්න.

මේ රජයේ සේවක වැටුප් වැඩිවීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කළ යුතුයි.

මගේ අදහස වුණේ ජනාධිපතිවරණයෙන් දිනුවොත් දෙසැම්බර් මාසයේ හෝ ජනවාරි මුල් සති දෙකේ මේ වැටුප් වැඩිවීම සම්මත කරලා ජනවාරි අග වැටුප ගෙවන්න. දැන් මේ වැටුප් වැඩිවීම ප්‍රමාද කරන්න හදන්න එපා.

සිංහල අවුරුද්ද සමරන්න මිනිස්සු අතේ සල්ලි තියෙන්න ඕන. මෙම වැටුප් වැඩිවීම නීත්‍යානුකූලයි.

දැන් මේ සටන ඉදිරියට ගෙනියන්න ඕන සිවිල් සේවකයන්ට. මේ සටන දැන් ඔබ අතේ. දැන් සජාබේ ගිහින් කිව්වා අනුර දිසානායක ජනාධිපතිතුමාට සහය දෙනවා මිස හැප්පෙන්නේ නැහැ කියලා.

TRENDING POST