Image

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එහිදී වෙඩි කා දැන් ශ්‍රී ලංකාවේ හිගා කෑමට සූදානම් වන ශ්‍රී ලාංකිකයා

කුවේට් රාජ්‍යයේ ආපනශාලාවක ආහාර ඇනවුම් බෙදාහැරීමේ නිරත වී සිටිය දී , එම ඇනවුම ලබා දීමට මදක් ප්‍රමාද වීම නිසා උරණ වූ කුවේට් ජාතිකයෙකු තැබූ වෙඩි පහරකින් ඔත්පළ වී , ඇදි වත පමණක් රැගෙන , ශ්‍රී ලංකාවේ තම දූ දරුවන් සහ අසනීප වී සිටින බිරිඳ ජීවත් කිරීම සදහා ” හිගා කෑමට ” මහ පාරට බැසීමට සූදානමින් මෙරටට 07/26 දින අලුයම රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .

ඔහු රාජාංගනය , යාය – 11 ප්‍රදේශයේ පදිංචි සාගර ලක්ෂ්මන් තිලකරත්න නැමැති 46 හැවිරිදි පුද්ගලයෙකි .

මම ගම් ප්‍රදේශයේ ” මේසන් ” වැඩ කරමින් සිටියේ . පසුව මම රියැදුරු බලපත්‍රය අරං කුවේට් වල ” අබුතහම් ” කියන ආපනශාලාවෙ ආහාර ඇනවුම් රැගෙන ගොස් භාර දෙන්නෙකු වශයෙන් සේවයට  ගියා . මම එහෙ අවුරුදු 07 ක් වැඩ කළා . මම අවුරුදු 05 ක් වැඩ කරල ලංකාවට ආවා . ඇවිත්  2023 ආයෙමත් කුවේට් වලට ගියා. ඒ ” අබුතහම් ” ආපනශාලාවෙ , ඔවුන්ට අයිති තවත් ආපනශාලා දෙකක් තියෙනවා . ඔය සිද්ධිය උනේ 2024.01.11 වෙනිදා පාන්දර .  මම එතකොට මේ “අබුතහම් ” ආපනශාලාවෙ වෙනත් ශාඛාවක වැඩ කර කර හිටියෙ . මට එදා පාන්දර 04.45 ට විතර මම වැඩ කරමින් සිටි ආපනශාලාවට කතා කිව්වා , දැන් ඕඩරයක් ආවා , ඒක දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ , ගිහිං භාර දෙන්න කියල. ඒ ආපනශාලා සමූහයේ වාහන 03 ක් තියෙනවා . අපි ඒවායින් ආහාර ඇනවුම් රැගෙන  ගොස්  භාර දීම සිදු කරනවා . මම වැඩ කරමින් සිටි ආපනශාලාවෙ සිට ඒ ආපනශාලාවට ගිහිං , ඒ ඇනවුම භාර දීමට නියමිත ” බර් ” නැමැති කාන්තාර ප්‍රදේශයේ පිහිටි නිවෙස වෙත ගියා . ගිහිං ආහාර ඇනවුම් කළ පුද්ගලයාට දුරකථන ඇමතුමක් දුන්නා . ඔහු ඒකට පිළිතුරු දුන්නෙ නැහැ . ඔහු ඔහුගේ මෝටර් රථයෙන් පැමිණ , මගේ මෝටර් රථය පිටුපසින් නවතා ගෙන සිටියදී , මම ඔහුට ආහාර ඇනවුම භාර දීමට , ඔහුගේ මෝටර් රථය අභියසට යනවාත් සමගම , ඔහු මෝටර් රථයේ වීදුරුව පහත් කර මට වෙඩි තැබුවා. එසේ වෙඩි තබා ඔහු එරට භාෂාවෙන් “පළයන් යන්න ” කියා පැවසුවා .

මම මෝටර් රථයට ආපසු පැමිණ , ආපනශාලාව වෙත පැමිණීමට තැත් කළත්, මට මෝටර් රථය පදවා ගෙන එන්න පාර පේන්නෙ නැතිව ගියා . මම මෝටර් රථය පාරෙන් අයින් කරළ නවත්වල , මම ඉන්න ” ලොකේෂන් ” එක ආපනශාලාවෙ අනෙක් මෝටර් රථයක රියැදුරුවරයෙකුට දාලා , මම මෝටර් රථය තුළ දිගා උනා . එම රියැදුරුවරයා පැමිණ මාව රෝහලකට ඇතුළත් කළා . මාසෙකට පස්සෙ එරට පොලිසියට මාව රැගෙන ගිහිං කට උත්තර ප්‍රකාශයක් අරං යළිත් මාව රෝහල් ගත කළා.ලංකාවට මේ සිද්ධිය ආරංචි වෙලා , බලපෑම් ආවම මාව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ගියා .මේ පිළිබඳ නඩු විභාගය ඉකුත් 06.06 දින උදෑසන 09.30 ට පැවැත්වීමට නියමිතව තිබුණත් තානාපති කාර්යාලයේ නිලධාරීන් මාව අධිකරණය වෙත රැගෙන ගියේ දහවල් 11.30 ට විතර . එතකොට නඩු විභාගය පවත්වන විනිශ්චයකාරතුමා , සිය කටයුතු අවසන් කරළ අධිකරණය තුළින් පිට වී ගිහිං තිබුණා .ඊට පස්සෙ යළිත් මගේ නඩුව විභාග කරන දවසක් ගැන දන්නෙ නැහැ .මට පාසැල් යන දරුවො දෙන්නෙක් ඉන්නවා . මගේ බිරිඳ අසනීපෙන් ඉන්නෙ .ඇය සතිපතා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යනව .මම නඩුව පිළිබඳව නීතීඥතුමාගෙන් ද ඇහුවා . එයත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු හරියටම දන්නෙ නැහැ. ඉතිං මේ පසුබිම යටතේ මම තානාපති කාර්යාලයට වෙලා ඉන්න එක තේරුමක් නැහැ . ඒ නිසා මම වැඩකරපු ආපනශාලාවට ගිහිං ඩිනාර් 100 ක් ඉල්ලා ගෙන , ශ්‍රී ලංකාවට එන්න ටිකට් හදා ගෙන ලංකාවට ආවා .මම දැන් මොකද කරන්නෙ . යැයි ඔහු මාධ්‍යවේදීනගෙන් විමසීමක් සිදු කළ අතර , මද නිහැඬියාවකින් පසුව මම මගේ දරුවන් දෙදෙනා සහ බිරිඳ සමග ” හිගා කනවා ” යැයි ඔහු පවසා කටුනායක ගුවන් තොටුපොළෙන් , දෙනෝ දහසක් බලා සිටියදී සිය ගම් පියස වන රාජාංගනය බලා පිටත්ව ගියේය .

සාගර ලක්ෂ්මන් තිලකරත්න 07/26 දින අලුයම 02.30 ට දෝහා සිට කටාර් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් මහතා ඇතුළු එම සංවිධානයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

එහිදී ශ්‍රී ලාංකිකයෙකුට මේ ආකාරයට බල්ලො බළලුන්ට මෙන් වෙඩි තබා පළවා හැරීම අනීතික බවත් , සාගර ලක්ෂ්මන්ට මෙරට තුළ දී වත් සාධාරණයක් ඉටු කරන ලෙස ද ඉල්ලීමක් කළේය .

TRENDING POST