දිගින් දිගටම පැවති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වසරේදී ලුණු කැටයක්වත් නිෂ්පාදනය කිරීමට නොහැකිවූ බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක පවසයි.
හම්බන්තොට පමණක් නොව අලිමංකඩ ඇතුළු ලුණු නිෂ්පාදනය කරන සෑම ස්ථානයකටම මෙම අයහපත් කාලගුණික තත්ත්වය බලපා තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය බරපතළ වූයේ ඉකුත් වසරේදී (2024) බවත්, ලංකා ලුණු සමාගම ඉකුත් වසරේදී මෙට්‍රික් ටොන් 125,000 ක ලුණු තොගයක් නිෂ්පාදනය කිරීමට ඇස්තමේන්තු කළද, නමුත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා නිෂ්පාදනය කිරීමට හැකි වූයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණක් බව ද සභාපතිවරයා ප්‍රකාශ කරයි.
සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මාසයේදී ලුණු කැඩීම ආරම්භ කළ ද,අයහපත් කාලගුණික තත්ත්වය ඊට බාධාවක් වූ බවද වෙළෙඳපොළේ කැට ලුණු හිඟයක් පැවැතියත් මේස ලුණුවල අඩුවක් නොමැති බව ද ඔහු සඳහන් කරයි.
ලංකා සතොසට ලංකා ලුණු සමාගම විසින් මේස ලුණු ග්‍රෑම් 400 ඇසුරුම් ලක්ෂයක් පෙරේදා (14 වැනිදා) දිනයේත් නිකුත් කිරීමට කටයුතු කළ බවත්, ඊයේ (15) දිනයේදී තවත් ඇසුරුම් ලක්ෂයක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බවත් සභාපතිවරයා කියා සිටියේය.