අධිකරණයෙන් 20 වසරක දඬුවම් ලබාසිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ බිරිඳ විසින් හිටපු අමාත්‍යවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම භාවිතා කරමින් ඉතා දීර්ඝ මෙන්ම ආශ්වාදජනක සටහනක් තබා ඇත.
එය මෙසේය,
හුදෙක් මගේ හෘදයසාක්ෂියෙන් නිදහස් වීම පිණිසම පමණක් මෙසේ සටහන් තබමි. දැන් ඉදින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත; මට තවත් රිදෙන්නට තැන් නැත! (මම සෙනානි ජයරත්න අලුත්ගමගේ)
අදට මගෙ අයියා අච්චු වී දින 20කි. මට හඬන්නට තව කදුලු නැති ගානය. මගේ අයියා වෙනුවෙන් තවත් කරන්නට දේ නැති වේගෙන යනු මට දැනේ.මගේ මතකයද අවුල් සහගතය ය. කිසිවෙකු හා කතාබහද මට තිත්තය. ඔහුට සැබෑවටම කිට්ටු හිතවතුන් හා කතාව මට කොහෙත්ම බැරිය. හැම් බේකන් නොවේ; මගේ අයියා ආසාවෙන් කන බතයි සම්බෝල යයි කරවල කෑල්ලයි උගුරෙන් පහලට දමා ගැනීමටත් මා පට්ට ආයාසයක් දැරිය යුතුය.
මගේ දුක අසා සිටීමත් මගේ ආදරණීයයන්ටද දුකකි. මා දුක කියන්න ඕනෑත් ඔවුන්ට සුදුසු විදියටය. මා දුකින් සිටීමත් ඔබලාට දුකකි. ඉදින් මා එය ද සැංගිය යුතුය.
නමුත් මට දැනෙන්නේ ඔබ සියලු දෙනාම සමග තරහකි. ඔබට අනුව මං මගෙ අයියා වෙනුවෙන් ශක්තිමත් වෙන්න ඕනෑය. ඔහු නිවැරදි කියා මා හොදින්ම දන්නා කාරණාවකට මගෙ අයියා හිරේය. අවුරුදු වලින්ම 20 කටය. නීතිය ඒකය. හැමෝම මට එය එහෙට නමා මෙහෙට නමා දින අවුරුදු කියා දෙයි. අඩුම තරමේ යන්තං විශ්වාස කිරීමටවත් හැමෝම එකතු වී එක ගානක් කියන්නේත් නැත. හිතුණ හිතුණ අවුරුදු ගනන් කියයි. මං ඒවාත් අසාගෙන සිටිය යුතුය…
නීතියේ සත්‍ය නම් අපේ appeal එක අහන්නත් අවුරුද්දකට වඩා ගත වෙන බවය. යන්තං හෝ තිත්තවුණත් මට ඇත්තක් කිව්වෙ අපේ නීතීඣ (මට ටයිප් කරන්න දන්නෙත් නෑ) නලීන් අයියා හා සනත් මහතා ය.
අප ජීවත් වූ නිවස දැකීමත් මට අප්‍රියය. එහි එතරම්ම මතකයන් ය. අපි එහි ‘ පවුල් කෑවා’ පමණක් නොවේය; අප්‍රමාණ ආදරයක් බෙදා හදා ගත්තෙමු. අනෙක් හැමදෙනා මෙන් අපිද රන්ඩු වුනෙමු. ඉද හිට මා ගුටිත් කා ඇත. කතා නොකර සිටත් ඇත. ගෙදරින් මා පැන්නු අවස්ථාද ඇත. වෙන්වී ජීවත් වු දිනද ඇත. මේ සිදුවීම අස්සේත් අප සිටියේ විරසකවය. මේ හැමෙකක්ම කලාතුරකින්ය. අන් සෑම විටම අප බොලද ප්‍රේමවන්තයන් ය. ඔහු තරම් මා තරම් එකිනෙකාට ආදරය කල කිසිවෙක් අප අතර නම් මා දැක නැත. මගේ මිතුරියන් එයට සාක්ෂි දරනවා ඇත.
මා ඔහුගේ 4 වන දරුවාය; ඔහු කීවේ එසේය. සැබැවින්ම බොහෝ විට එය එහෙමය. එම නිවසේ මා අතක් පයක් හොලවනවාටවත් ඔහු අකමැතිය. ඒ ආදරේ මට ඇතැම් විට අම්බානක වදයක්ම විය. අපේ වයස් පරතරය සමහර අවස්ථාවල එකිනෙකා තේරුම් ගැනීම අපට අපහසු කලත් ඒ සැම අභිබවා ගිය අප්‍රමාණ ආදරයක් අපි සතු විය. එබැවින් මත ගැටුම් හොදින් සමතයකට පත්කර ගැනීමට අපිට හැකි විය. ඔහුගේ ඇස් මානයේම මා සිටිය යුතුය. රාජකාරීන් සදහා නික්ම ගොස් නිවසට එන විට මා නිවසේ නැතිනම්, මා එන තෙක් කාමරයටවත් ඔහු යන්නේ නැත. ඒ මා විදි අසමසම ආදරයයි. මා හට දැඩි සීමා නොපැනවූවද ඔහු අකමැති දෑ කල විට මගෙ අයියාගේ මුහුණ හරිම දුක්මුසුය. එවිට ඔහුට නොරිද්දා මගේ විදිපෙවෙත වෙනස් කිරීමට මා නිතැතින් පෙලඹුනෙමි. ඒ ස්ව කැමැත්තෙනි. අපේ ලොකු දුව හිරුනි, ඒ ගැන මා හා වාද කරද ඇත. ඇය පියාට මෙන් මටත් ඉමහත් ආදරයක් දක්වයි. ඇය කීවේ මා, මට ආසා විදියටත් ජීවත් විය යුතු බවය. එහි වරදක් නොමැති බවය. නමුත් මා ඒ හැම විටම ගත්තේ මගේ අයියාගේ පැත්ත ය. ඒ සදහා ඕනෑ තරම් කාරණා ආදරණීයව මගෙ අයියා මට සැපයීය.
මා ආසා කලේ අපේ අම්මා මෙන් පොලේ යාමට ය. මොන මොනවා හෝ ගෙදර වැඩ කිරීමට ය. එහෙත් සිදු වූයේ මගේ උදේ තේකත් ඔහු මගේ අතට ගෙනවිත් දීමය. එය ඔහුගේ ආසාවය. විවාහ වූ අලුත දිනක මගෙ අම්මා මට නෝක්කඩු කීවේ ඇය අපි හැදුවේ ස්වාමියාගෙන් එලෙස වැඩ ගන්නට නොවේය කියා ය. (මා හැදුනේ පුරුෂාධිපත්‍ය රැකුණු නිවසකය. මට පුරුෂාධිපත්‍ය යනු යටත්වීම නොව ගරුත්වයේ සංකේතයක් ය. මමද එය ඉදුරාම පිලිගනිමි. මට එය අපේ සංස්කෘතියය. අපේ පවුල්වල වටිනාකම් බොහෝමයක් රැදෙන්නේ ඒ මත යයි මට සිතේ. හිරූත් දියාත් එසේ වනු දැකීමට මා ප්‍රියය) එදා මං මගේ අයියාත් සමග රණ්ඩු වූයේ ඔහු මගේ ප්‍රතිරූපය අපේ අම්මා ඉදිරියේ පවා විනාස කරනවා කියා ය. ඒ රණ්ඩුත් ඔහුට හුරතලයක් පමණමය. ඒ මතක පිරුණු නිවස මටනම් දැන් අමු අපායක් ය. නමුත් මගේ වටා ඉන්න බොහෝ දෙනෙකුට මගේ වේදනාව නොතේරේ. මා එහිම රදවා තැබීමට උත්සාහ ගනී.
කෙසේ හෝ අයියා වෙනුවෙනුත් අපට ආදරය කරන සැම වෙනුවෙනුත් මා ජීවිතයට මුහුණ දිය යුතුය; ශක්තිමත් විය යුතුය. මම එය නොදන්නවා නොවේ! නමුත් කරන්නේ මොනවාද නොකරන්නේ මොනවාද යන්න තෝරා බේරා ගැනීම මට තවම ලෙහෙසි පහසු නැත.
මුල් සතිය පුරාවට මං හිත හයිය කරගෙන ගැම්මට දිව්වේ අයියට නිර්දෝශී වෙන්න නීතියේ තව එක් අවසාන වරයක් තියෙන බැවිනි.ඒ අපේ අයිතිය ය!
දන්න නොදන්න නීතිවේදීන් නීති විශාරදයින්, උගතුන්, වියතුන්, බුද්ධිමතුන් එකී මෙකී නොකී හෑම කෙනෙක්ම අපි හමුවුනෙමු. ඒ හෑම සියලු දෙනාටම මං අනන්ත වාරයක් ස්තුතිවන්ත වෙමි. ඒ මගේ අයියගෙ නිර්දෝශී භාවය නොයෙක් අන්ත වලින් ඔවුන් මට පැහැදිලි කිරීම ගැනය. ඒ සෑම හමු වීමක්ම උපදෙසක්ම මම භාග්‍යයක් කොටම සලකමි! හැමෝටම ඒ අවස්ථාව උදා නොවේ. ඒ අවස්ථාව මට උදාකර දුන්නේ මගේ පවුලේ දේශපාලන වටපිටාව ය. එයට ද මම ගරු කරමි.
අපිට අයියා නිදහස් කර ගන්නට ඕනෑවටත් වඩා විදි හමබ වෙතැයි මම සිතුවෙමි. ඒ සැබෑ සත්‍ය මා සක්සුදක් සේ දැන සිටි බැවිනි; ඒ සත්‍ය යතාර්ථය විය යුතු යැයි මා ඇදහූ බැවිනි. නමුත් යතාර්ථය කුමක්දැයි මට දැන් නොවැටහේ. මං හොයා ගන්නා හෝ නීතිවේදීන්ම මට පුනපුනා පවසන හෝ කිසිදු කරුණක්, අයියාට යුක්තිය ඉටුකිරීම උදෙසා යොදා ගැනීමට නීතිය තුල ප්‍රතිපාදන නොමැති බව අප සැමට ප්රත්යක්ෂ වේ; එක්කෝ අපි ප්‍රමාද වැඩි බව කියවේ.
ඉදින් මා දන්නා, නීතිය පසිදලන්නන්ද දුටු, පරම සත්‍ය පසෙක තබා නීතියේ දෝෂ (technical errors) හොයන්නට හැමෝම උත්සුක වෙනු මට පෙනේ. ඒ අප ගැන හැගීමෙන්, අනුකම්පාවෙන්, සැබෑ වුවමනාවෙන් බව මම දනිමි. නමුත් ඒ උත්සාහයන් මා කොතෙක් අසරණ කරනවා දැයි කිසිවෙකුටත්
නොපෙනේ; නොහැගේ.
නීතිය යනු කුමක්ද?
නීතිය ඉදිරියේ වැරදිකාරයා යනු කව්ද?
නිවැරදි කරු යනු කව්ද?
නීතිය කෙතරම් ස්වාධීනද?
මා පබ ගාලක පැටලිලාය.
ඕනෑම දේකට කාලය විසදුම් දෙන බව කියයි. ගෙවන හැම රැයක්ම පහුවදාට එලි පෙහෙලි වන්නේ මගේ හිතේ හයිය හූරාගෙනය. ඒ නිසා අනෙක් බොහෝ දේ මෙන්ම කාලයේ විසදුම් ගැන මගේ විස්වාසය හීන වේගෙන යයි.
අයියා මුහුණ දුන් කටුක දේශපාලන හා සමාජයීය ගැරහුම් දැන සිටි මට මෙය දරා ගැනීම ඉතා අපහසුය.
මා මගේ අප්පච්චිගෙන් උගත්තේ හෘදය සාක්ෂියට අවනත වන්නටය. ‘ලෝකයක් අප වැරදිකරු කලත් හෘදයසාක්ෂියට එකඟ තාක් අප නිවැරදිය’. එලෙසම ‘ලෝකයක් හමුවේ අප නිවැරදි බව ඔප්පු කලත් හෘදයසාක්ෂියට එය ඔප්පු කරන්නට අපිට බැරිනම් අපි අපේ හදවතේ සදා වැරදිකරුවන් ය; සිරකරුවන් ය’. එබැවින් මගේ හෘදය සාක්ෂියට නිවැරදිකරු වනු වස් මා මගේ හිතේ කැකෑරෙන සියල්ල මෙසේ සටහන් තබමි. ඒ කිසිවකුට රිද්දීමට නොවේ; වැරදිකරුවන් කිරීමටද නොවේ. කිසිවකු මෙය නොකියවූවත් මට කම් නැත. උත්තර දුන්නා හෝ නොදුන්නා කම් නැත. කිසිදු පිලිතුරක් කියවීමටවත් මගේ අපේක්ෂාවක් නැත. මගේ වෑයම මගේම හෘදයසාක්ෂියෙන් නිදොස්කොට නිදහස් වීම පමණක්මය.
කෙලෙසකවත් ඔහු මා අත ඇරියේද නැත. තමන්ගේම එකා තමන්ට පන්න පන්නා ගසද්දීත් ඔහු උපේක්ෂාවෙන් ම සියල්ල දරාගෙන ඒ සියල්ලට මුහුණ දුන්නේ ය.
ඔහු ඉඩම් ගනුදෙනු කල බ්‍රෝකර්වරුන්ගේ සිට යහලු මිත්‍රයන් දක්වා සෑම දෙනා කැදවා ප්‍රශ්න කල අතර ඔහුගේ සෑම බැංකු ගිණුමකම රැපියල් 5000 වැඩි සියලු හර බැර ශේෂ (වසර 10ක් පුරාවට) විස්තර කරනා ලෙස අපට නියෝග දුනි.මමත් වසන්තත් ගතකල නිදි නැති රැයවල් කොපමණද මතක නැත. වයස 31 වූ මා හට බොහෝ දෑ කියා දෙමින් මා දිරිගැන්වූයේ අපේ රියදුරු වසන්තය. ඔහුට අදටත් මා සැබෑ ලෙසම ණය ගැතිය.
වසර 12ක් පුරාවට පරීක්ෂණ/නඩු 14කට මගෙ අයියා මෙලෙස මුහුණ දුන්නේය. ආණ්ඩු කිහිපයක් පුරාවට මේවා ඇදී ගියේය. මගේ අයියාගේ මිත්‍රයන්, නෑයින්, කොටින්ම ඉඩම් ගනුදෙනු කල බ්‍රෝකර්වරුන්ගේ සිට 100 අධිකව ප්‍රශ්න කිරීමට කැදවිය. ඔහු සැකපිට දෙවතාවක් රිමාන්ඩ්ගත ද කෙරුණි. මගේ අයියා හැදූ ක්‍රීඩාංගන, ගොඩනැගිලි මීටරයෙන් මීටරය සොයා මැන බැලුවේය. ඔහුගේ මිතුරන්ගේ ව්‍යාපාර උඩ සිට යටටත් යට සිට උඩටත් පරීක්ෂාවට ලක් කෙරුණි. නෑදෑයින්ගෙන් ප්‍රශ්න කෙරුණි. ඒ සදහා ඔවුන් රට සිටත් ගෙන්වීය. අමල් අයියා වැනි අයගේ දේපළ මගේ අයියාගේ යැයි කීමට කියා ඔවුන්ට තර්ජනද එල්ල කළේය.
මගේ ආධ්‍යාත්මික සුවය මූලික කොටගෙන හදහන් කියවීමේ කලාවට ආදරය කල මා, සමාජ මාධ්‍ය එයත් අල්ලාගෙන මගේ අයියාට අමුවට ගහද්දී ආ දුකටම මගේ හදහන ඉරා දමා ඒ දුකත් මම තනියෙන්ම දරා ගත්තෙමි. වසර කීපයකට පෙර හදහන කියවූ කීප දෙනෙකුටම අනුව මේ ගත වෙන්නේ මගේ අයියාගේ ජිවිතයේ හොදම කාල පරිච්ඡේදයකි. ඉතිං මේ සියල්ල දැන් මා අපමණ අතරමං කරයි.
කරුණු එසේ වුව නීතිය යුක්තිය පසිදලීමට තියා කරුණු ඇසීමටත් පෙර ‘සමාජ මාධ්‍ය’ (සමාජ මාධ්‍ය ලෙස මා නිර්වචනය කරන්නෙ මනුස්සයෙකුගේ ඇසින් බලා කනින් අසා මොලේට දෙයක් ඇතුල් කල හැකි සියලු අයිතමයන් ය; ඒවායේ සේවයේ නියුතු සියල්ලන් ය) අතෙනුත් බොහෝ දේ දමා මගේ අයියා කම්බ හොරෙක් කලේය. ආශා අක්කි මුදලින් කෝටි 500ක් වන්දි ඉල්ලීය. නමුත් නඩු කටයුතු අවසානයේ සාධාරණව මගෙ අයියාට ගෙවීමට වූයේ මුදලින් කෝටි 2කි. (දේශපාලනය තුල වාහන පර්මිට් ලැබීම හරිද වැරදිද මා තර්ක නොකරමි; 30 වසරක දේශපාලනයේ ඔහුට ඒවාම 6ක් හිමිය. කෝටි කීපයක් එයින්ම උපයාය. බලාගෙන යද්දි ඒ පර්මිට් මාලිමාවේ මංත්රීලාත් ලබාගෙනය) ඒ අක්කිගේත් එකගතාවය මතය. නමුත් අදත් මාධ්‍ය හංවඩු ගසන්නේ ‘කෝටි 500ක් මුදලින් හිටපු බිරිදට ගෙවූ හොරා’ ලෙසය. අවසන මගේ අයියා කැරම් බෝඩ් නඩුව හැර ඉතිරි සියල්ලෙන් නිදහස් ද විය.
ඒ වසර 12ක්ම මේ පරීක්ෂණ හා නඩු සමග ගැටීමෙන්, පැටලීමෙන් හෙම්බත් වීමෙන් අනතුරුවය. ඔහු විදි ගැහැට කොපමණද යත් පරීක්ෂණ වලට සහය දීමෙන් අනතුරුව, අපට කණගාටුව ද ප්‍රකාශ කර මගේ අයියා වසර ගනනාවක් නීත්‍යානුකූලව හා යහපත්ව ගණුදෙනු කල HSBC බැංකුව මගේ අයියාගේ ගිණුම් තම බැංකුවෙන් ඉවත්කරගන්නා ලෙස කාරුණිකව දැන්වීය. ඒ වදදීම්/පරීක්ෂණ එතරම්ම කුරිරු විය. මගේ අයියා එයද උපේක්ෂාවෙන් දරාගෙන සිය ගිණුම් වසා දැමීය. Standard Chartered බැංකුවද පසුකාලීනව මෙසේම ඉල්ලීය. 2014 සිට ඔහු ගනුදෙනු කරන්නේ ලංකා බැංකුව සමග පමණි.
මේ කැරම් බෝඩ් නඩුව ඔහුගේ අවසාන නඩුව විය. මෙතරම් පරීක්ෂණ/ නඩු ගොන්නකට වසර 12 ක් තිස්සේ මුහුනදී අවසානයේ නොකල වරදකට මගේ අයියා 20 වසරකට හිරේය. මම අපේ දරුවන් තිදෙනා මත පිහිටා දිවුරා කියමි.
අයියා දුන්නේ තීරුබදු සහන ඉල්ලා වාචික ඉල්ලීමක් පමණි !
නිලධාරීන්ට, මාධ්‍යට, දේශපාලනයට කෙතරම් මවා පෑ හැකි වුවද මගේ හෘදය සාක්ෂියේ දිවුරුම හොරකම් කල නොහැක! මිලදී ගැනීමටද නොහැක! බොරුවක් බවට පත්කිරීමටද නොහැක! මගේ අයියාට දඩුවම් දිය හැකිනම් ඒ ලියුමට වාචිකව දුන් උපදේශයටම පමණය.
2014.10.10 සතොස විසින් ණයවර ලිපි විවෘත කල..
සතොස මුදල් ගෙවූ..
සතොස ආනයනය කල…
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගබඩාවකටවත් නොපැමිණි…
ක්‍රීඩා ගබඩා භාරකරු අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ නියෝගයකට, බෝඩ්වත් නොදැකම භාරගත් බවට
සතොස ගබඩාවේදී අත්සන් පමණක් තැබූ….
වරාය සේවකයන් දේශපාලනයට හෝ කුමක් හෝ මගුලකට මේ රටේ මිනිසුන්ටම බෙදූ..
07.11.14 දින අමාත්‍යාංශයේ ලේකම්තුමා
බදු සහන ඉල්ලා අමාත්‍යාංශ ලිපිය නිකුත් කරන විටදීත් 04.11.14 දින අදාල බෝඩ් තොගය වරායට පැමිණ
තිබූ අවස්ථාවක…
මගේ අයියාවත් මමවත් අපේ දරු තිදෙනා තබා රියදුරෙක්වත් සේවකයෙක්වත් නොදුටු….
‘තීරු බදු සහනයක් ඉල්ලා වාචික උපදෙස් සම්බන්ධීකරණ ලේකම්ට දීම’ යන කාරණය මුල්කරගෙන…
ඉහත කරුණු සියල්ල නීතිය ඉදිරියේ ඔප්පු වූ පසුබිමකත්…
මගේ අයියා හිරේය!
මාස 6කට වසරකට ද නොවේ…
වසර 5කට 10 කටද නොවේ…
වසර වලින්ම 20කටය….
එය මගේ අයියාට නම් ජීවිත කාලයටම වගේය. ඒ, ඒ වන විට ඔහුට වයස 81 ත් සපුරණ නිසාවෙනි
වසර 9 මාස 4 ක් පුරා වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කල විට අධිකරණ ඇමතිතුමාගේ ප්‍රකාශය මා උස්සා පොලවේ ගැසුවේ මේ අල්ල පනල්ලේය. ඔහුගේ වචන වලින්ම කියන්නේ නම්;
මහින්දානන්ද අලුත්ගමගේගේ නඩුවේ ඔබ හිතනවා ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැර වෙන ආණ්ඩුවක් බලයේ හිටිය නම් ඔය තීන්දුව ලැබේය කියා? මම හිතනව නෑ කියල !!! මගෙ පෞද්ගලික මතය “
පෞද්ගලික හෝ පොදු හෝ මෙතුමා රටේ විධායකයට, ව්‍යවස්ථාදායකයට, වගකියන උත්තරීතරම වූ ‘නිති පද්ධතියම භාර ‘ අධිකරණ අමාත්‍යවරයා ය. එසේ මෙසේ පුද්ගලයකුද නොවේ; ඔහුත් මේ අධිකරණ පද්ධතිය තුලම වන් එක් පුරුකකි; එනම් නීතිවේදියෙකි!
එතුමා එසේ ප්‍රකාශ කිරීම තුල මා තේරුම්ගත් දෑ මෙරට කිසිවකුට නොඇසුනේද? නොඑසේ නම් නොඇසූ කන්ව සිටින්නේද? එසේ නම් ඒ මන්ද??
කෙසේ හෝ එතුමාගේ කතාවේ මූල බීජය මා කප්පරක් ආදරය කරන, මගේ ස්වාමියාය. අපේ දරුවන්ගේ පියාය. මගේ අයියාය.මා දුටු මිනිස්සු අතර උතුම් මනුෂ්‍ය ගුනාංගයන්ගෙන් හෙබි පුද්ගලයා ය. එබැවින් මට නෑසූ කන්ව කොහෙත්ම සිටිය නොහැක.
මගේ පෞද්ගලික අදහස මටද ප්‍රකාශ කිරීමේ අයිතිය අධිකරණ අමාත්‍යතුමාම මට ද ව්‍යංගයෙන් ප්රදානය කලේය. ඒ අනුව:
මාලිමා රජයට පෙර තිබූ ‘අධිකරණ පද්ධතිය ‘ තුල මගේ අයියාට මේ ම්ලේච්ඡ දඩුවම හිමි නොවන්නේ යැයි ඔබතුමා විශ්වාසයෙන් පැවසීය.
අධිකරණය යනු මොකා ආණ්ඩු කලද මොකා රජකම් කල ද ජනතාවගේ ස්වාධිපත්‍යය ය විය යුතුමය! මෙතෙක් වසර 76ක ඉතිහාසය තුල ව්‍යවස්ථාදායකය, විධායකය හා නීතිය එකම ලිපේ ලිග් ගල් තුන මෙන් විය. එකක් ලොකුත් නැත; අනෙක පොඩිත් නැත. එහෙත් ව්‍යවස්ථාදායකය, විධායකය හැප්පෙද්දී නීතිය ලොකු අයියා මෙන් සිට සියල්ල ආම්බාම් කරගෙන ප්රජාතන්ත්ර වාදය, රටේ ස්වෛරීත්වය පමණක් නොව ජනතාවගේ ස්වාධිපත්‍යයද රැක්කේය. ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සිද්ධිය හා සරත් ෆොන්සේකා මහතාගේ සිද්ධිය මේ සදහා හොදම උදාහරණය. අඩුම තරමේ මා ඒවා දුටුවේ එලෙසය.
නීතිය හමුවේ ‘ජනතාව’ යනු ජනාධිපතිගේ සිට, ඇමතිගේ සිට අන්ත අසරණ සිගන්නා තෙක් දෙකෝටියමය.
එසේ නම් එදා පැවති ‘ අධිකරණ පද්ධතිය ‘ තුල මාලිමා රජයේ දඩුවම මගේ අයියාට හිමි නොවන්නට:
- පැවති ‘ අධිකරණ පද්ධතිය දූෂිතද? එහි නීතිය පසිදලන්නන් කල වැරදි මොනවාද?
- ඔවුන් දේශපාලන තීන්දු දුන්නේද?
- නොඑසේ නම් බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙන් උසස් වීම් මාරුවීම් හා පැවැත්ම උදෙසා ඔවුන් සිය ආත්මය පාවා දීද?
- එසේ නොමැති නම් ඔවුන් කාගේ හෝ බලවන්තයකුගේ කීමකට හෝ
- ඉන්දියාවේ, චීනයේ හෝ ඇමරිකාවේ හෝ කුමන ජගතෙකුගේ හෝ බලපෑමට තීන්දු තීරණ දෙන තත්වයට පත්වී සිටියේද?
- නොඑසේ නම් ඔබ පවසන්නේ ‘නීතියේ මුර දේවතාවුනුත්’ සමහරක් රාජ්‍ය නිලධාරීන් මෙන් මුදලට නීතිය පාවා දී, මගේ අයියාට මේ ලබා දුන් තීන්දුව පෙර පැවති රජයක් යටතේ ලබා නොදී සිටිනු ඇත’ කියාද?
අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික මතය මට උරුම කරන්නේ ඉහත ප්‍රශ්න පත්‍රයය. මේ ප්‍රශ්න මාගේ මනසේ දිවා රෑ නැතුව බුර බුරා නැගෙමින් මා මානසිකව පෙලයි. මේ ප්‍රකාශය මා ඉච්ඡාභංගත්වයේ හිනිපෙත්තටම ගෙන ගියේය.
අධිකරණ අමාත්‍යතුමා මේ කියන ආකාරයට එදා නීතියේ එවන් හිස්තැන් තිබුණි නම් ඒවා නිවැරදි කිරීමේදී කිසිවකුත් වරදකරුවකු නොවීද?
එම ‘ ඔබ කියන වෙනත් තීන්දුවක් දිය හැකිව තිබූ අධිකරණ පද්ධතිය ‘ ‘clean Sri Lanka ‘ යටතේ මහින්දානන්දලාට ඔබ කියන ‘හරි දඬුවම’ දීමට සූදානම් කිරීමේදී, ඔබතුමා එම වෙනස්කම් සිදුකිරිමට ගත් ක්‍රියාමාර්ග මොනවාද? ඒවා නීත්‍යානුකූල වෙනස්කම්ද? එසේනම් ඒ කුමන ‘අධිකරණ පද්ධතිය ‘ තුල ද ? මාගේ මෝඩ මොලයට මේවා නොතේරේ.
අධිකරණ අමාත්‍යතුමාට මෙවැනි බරපතල ප්‍රකාශයක් කීමට ඇති අයිතියම එම ප්‍රකාශය දිරවා ගැනීම උදෙසා පැහැදිලි කරගැනීමට මටද අයිතියක් පවරා දී ඇත!
මට රටේ අධිකරණ පද්ධතිය නිවැරදිද කියා බැලීමට හෝ නිවැරදි කිරීමට කිසිදු වුවමනාවක් නැත. ඒ සදහා විධායකයක් ව්‍යවස්ථාදායකයක් ඇත. මම බෙහෙවින්ම පෘතග්ජනය. එබැවින් මා ආත්මාර්ථකාමී ලෙස මේ මොහොතේ සිතන්නේ මමත් මගේ පවුලත් ගැනම පමණි! එබැවින් ඔය කියන මාලිමා රජයට පෙර පැවති ‘ අධිකරණ පදධතිය ‘ තුල මගේ අයියාට හිමි ඉරණම කුමක් විය හැකිව තිබුණිද? මගේ අයියා නිදොස්කොට නිදහස් විය හැකිව තිබුණිද? එවන් නීතියේ අඩු ලුහුඩු තැන් තිබුනිනම් ආණ්ඩු කිහිපයක් යටතේ වසර 9 කුත් මාස 4ක් පුරා ඇදුණු මේ නඩුව ඉවරයක් කර ගැනීමට
- දේශපාලනයේ සැබෑ දක්ෂයෙක් වූ, රජවරුන් තැනූ, රජවරුන්ට නැතිවම බැරි වූ, වියදම් කිරීමේ හැකියාව තිබූ මගේ අයියා සිය බලය, හැකියාව, සබදකම් මේ නඩුවෙන් ගැලවීමට පාවිච්චි නොකලේ මන්ද යැයි මා සිතා බැලිය යුතුද?
- ඔහු සමාජය කියනා ආකාරයේ සැබෑ ඔලමොට්ටලයෙක්ද? අධිකරණ අමාත්‍යතුමා කියන ආකාරයට දරුණු තීන්දු නොලබා නඩු හබ විසදා ගැනීමට අවස්ථාව තිබියදී, ඒ අවස්ථා ප්‍රයෝජනයට නොගෙන’ මේ සා දුකට මමත් දරුවනුත් ඇද දැමීම වෙනුවෙන් අප ඔහු අත් හල යුතුද?? අප ඔහු හා උරණ විය යුතුද?? ඔහු ඉතිරි විසි වසරටම නොසලකා හැර අපේ දිවි සාර්ථක කරගත යුතුද?
- මේ නඩුව පමණක් නොවේ. මා පෙර සදහන් කල ලෙසට පරීක්ෂණ/නඩු 14ක් සමග වසර 12ක් ඔහු දහං ගැට ඇල්ලූයේ ක්ෂණයකින් ඒවා විසදා ගැනීමට නීතියේ හිස් තැන් එමට තිබියදීද?? ඔය කියන විදියට මගේ අයියා ‘ පට්ට මෝඩයෙකි. ඔහු මාත් දරුවනුත් ගැන තියා ඔහු ගැනවත් නොසිතූ අමුම අමු නිවටයෙකි. සුද්ද සිංහලෙන් කීවොත් මී හරකෙකි’. මා මෙලෙස ඔහු ගැන සිතිය යුතුද???
- අනෙක් අතට මාලිමා රජය විසින් පැවතියා වූ ‘හරියාකාර තීන්දු නොදෙන අධිකරණ පද්ධතිය’ සුද්ද කිරීමේ ක්‍රියාවලියට පහත දෑ අයත් ද? මගේ නොතේරුම්කමට සමාවන්න.
- මගේ අයියාගේ තීන්දුව දීමට තිබියදී මාස 5ක් තුල නඩුකාරවරුන් දෙදෙනෙක් වෙනස් වීම එම පිරිසිදු කිරීමේ ක්‍රම වේදයේ අංගයක්ද?
- පිටු 86ක නඩු තීන්දුව ලිවීමේදී හා තීරණය කිරීමේදී බාහිර උදවු උපකාරත් ලබා ගත්තේද?
- මේවා එසේ නොවේ නම් එදා පැවති අධිකරණය මගේ අයියාට තීන්දුව දීමට ස්වාධීන කලේ කෙලෙසද?
- තීන්දුව දීමට දින 20ට පෙර අපේ දියණියගේ UCL විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට දවස් කීපයකට එංගලන්තයට යාමට උසාවිය අවසර නුදුන්නේ තීන්දුව දීමට ඇති බව පවසමිනි. එයින් කියවෙන්නේ නඩුව පවතිද්දී තීන්දුව ලියා අවසන් කොට තිබූ බවද?
- මේවා මට අහන්න අවසරද නැද්ද මම නොදනිමි. නමුත් මට දැන් උලත් පිලත් එකය.
- ඉදින් ජීවත් වීම උදෙසා මගේ හෘදසාක්ෂිය නිදොස් කොට නිදහස් කරගනු වස් මෙලෙස ප්‍රශ්න කිරීමවත් මා කල යුතුමය.
- එනමුදු කැරම් හා දාම් බෝඩ් ආනයනයට අදාලව වරදක් වී ඇත! මා එය නැතැයි නොකියමි. වැරදිකරුවෙක් සිටිය යුතුය. දඬුවම් ද ලැබිය යුතුය. නමුත් ඒ කරන ලද වරදේ ප්‍රමාණයට ය. වරද කරන ලද්දවුන්ටය. කෙසේ හෝ අදෘශ්‍යමාන හස්ත අදටත් නිරුපද්‍රිත ය. මට නලීන් අයියා ගැනත් දුකය. අමාත්‍යාංශයේ ලේකම්තුමා ගැනත් දුකය. අදෘශ්‍යමාන හස්තයේ පඬුපුල් ආසනය රත් වෙන්නේත් නැතිය. මගේ අයියා නීතියේ රාමුවට කොටු වෙලා ය.
- මේ දඩුවම ලබාදීමට පරීක්ෂණ මෙහෙය වූ, මූලිකත්වය ගත් රාජ්‍ය ආයතනවල නිදධාරීන් කෙරෙහි මට ඇත්තේ තරහක් නොවේ. අවංකවම එය එසේය. මෙය කාලාන්තරයක් පුරාවට පැවත ආ ක්‍රමවේදයන් ය. තමන්ගේ රස්සාව රැක ගැනීමට, වෘත්තීය තුල වරප්‍රසාද ලැබීමට, උසස්වීම් උදෙසා ඔවුන්ට සිය හෘදය සාක්ෂිය ලංසු තැබීමට සිදුව ඇත. සිය දරුවාගේ අනාගතය, සැප පහසුව, සාර්ථකත්වය මේ ලංසු අස්සේ තරාදිය එක් පසක් බර කරනු ඇත. මගේ අයියාට මේ තීන්දුව උරුම කරදුන් අවස්ථාවේ ඔවුන් තුල වූ ජයග්‍රාහී සතුට මම උපේක්ෂාවෙන් දරා ගත්තෙමි.
- එදා මෙදාතුර බිහි වූ සෑම දේශපාලන බල කදවුරක්ම බහුතර රාජ්‍ය සේවයක්ම ක්‍රියාත්මක වුයේ මෙ ආකාරයටය. අප එක් අයෙකුට ඇගිල්ල දිගු කරද්දි 3 ක් නොව 9ක්ම තමන් වෙතදික්වෙන වග සැවොම නොදන්නවා මෙන් සිටියි. ඉදින් මේ නිළධාරීන්ගේ අනාගතය ගැනත් මට දුකය. මේවා චක්‍ර සේ කැරකෙනු ඇත. ඊටත් වඩා ඔවුන් හෘදයසාක්ෂියේ සිරකරුවන් වනු ඇත. එය හිර බතට වඩා නීරස වනු ඇත.
නමුත් මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් මේසා ලෙස රාජ්‍ය සේවයට බලපෑම් කර නැත! මට එය විශ්වාසය. කරුමයට හෝ උරුමයට මට වයස 6 සිට 42 දක්වා මගේ පියා/ ස්වාමියා, මාමණ්ඩිය, දෙවන ස්වාමියා හෝ මගේ මල්ලි මංත්‍රීවරයෙකි/ රාජ්‍ය ඇමතිවරයෙකි/ ඇමතිවරයෙකි/ මහ ඇමතිවරයෙකි/ අග්‍රාමාත්‍යවරයෙකි! එබැවින් ඔබ සියලු දෙනා ඔලුවෙන් සිටගෙන නෑ කිව්වද මා දන්නා සත්‍ය මට මගෙන් වසන් කල නොහැක. කවුරු කැමති අකමැති වූවත් දේශපාලනයේ බොහෝ ඇසූ පිරූ තැන් මා සතුය. එය මා මනසට උරචක්රමාලයක් ය.
මේ පිලිවෙත අවංකව වෙනස් කිරීමට උත්සාහ කල එකම නායකත්වය ගෝථාභය රාජපක්ෂයන් ය. නමුත් මා ඔහු නිසා උගත් එකම පාඩම නම් මේ ධරනිතලය තුල උඩුගම් බලා පිහිනිය නොහැකි බවය. කොතරම් උත්තරීතර චරිතයකටවත් කොතරම් සද්භාවය ඇත්තෙකුටවත්, උගතෙකුටවත්, සමාජ සේවයක් ලෙසවත් ගරු සේවයක් ලෙසවත් රට කල නොහැක.
ඒ සදහා දේශපාලන අත්දැකීම් ඇති, වෘත්තීය දේශපාලකයෙකු වී එය ජීවිතයේ කොටසක් කරගත්, දේශපාලනිකව පරිනත වූ උගත් වූවත් නැතත් බුද්ධිමත් පුද්ගලයකු විය යුතුමය. ඒ අතරම අප්‍රමාණ දරා ගැනීමේ හැකියාවත්, සූදු කෙලීමේ හැකියාව, සහ ගිනි මත ඇවිදීමේ හැකියාවත් රටේ යහපත වෙනුවෙන් ජාත්‍යන්තරය සමග ඩීල් දැමීමේ හැකියාවත් තිබිය යුතුමය. ගිලුණු නැවක් රනිල් වික්‍රමසිංහලා ගොඩට ගෙනෙන්නේ මේ න්‍යාය තුල පිහිටා සිටය. දේශපාලන අත්දැකීම් අවැසි වන්නේ ඒ නිසාය. කොතරම් නීරස වුවත් තිත්ත වුවත් ඇත්ත මෙයමය.
අපි මිනෙත් රණවනලා සාරන්‍යා දිසාසේකරලා දෙස බලා අපූරු වින්දනයක් ලබමු. (ඇස්වහක් කටවහක් නැත; ඒ පොඩිවුන් සැබැවින්ම දක්ෂය) ඒ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයෙන් ලැබෙන පන්නරය මෙන්ම දෙමව්පිය අභාෂයෙන් ලබන හුරුව හා අත්දැකීම්වල බලයය. එහෙත් සෑම නලුවකුගේම නිලියකගේම දරුවන් මේ පැටව් දෙදෙනා මෙන් කලාබර නැත. අපේ දරුවන්ද නැත.
දේශපාලනය ද එසේය.කවුරු කැමති වුවත් අකමැති වූවත් සජිත් ප්‍රේමදාසලා, නාමල් රාජපක්ෂලා, රමේෂ් පතිරණලා, දුමින්ද දිසානායකලා, ඩී.වී චානකලා, අනුරාධ ජයරත්නලා, කංචන විජේසේකරලා, සෙන්දිල් තොන්ඩමන්ලා, ජීවන් තොන්ඩමන්ලා, භාෂණ රාජකරුණලා, කවින්ද ජයවර්ධනලා වැනි ඇතැමුන් දේශපාලන භූමිකාවේ කුමන ජවනිකා රගපෑවද රැක ගත යුතු වන්නේ ඔවුන්ගේ පියවරු දේශපාලකයන් වීම නිසා නොව, උපන්දා සිට ඒ උකහාගෙන ඇති අත්දැකීම් සම්භාරය මත ඔවුන්ගේ මෙහෙය අනෙකුත් දේශපාලන චරිත සමගම රටට ලබාගත යුතුම බැවිනි.
ඉදින් එසේ පදම් වී දේශපාලන මාවතට පිවිසී සිටින අවසාන පරම්පරාවද ඉහත කිහිපදෙනා හා එවැනි තවත් ඒ පරම්පරාවේ මට නම් අමතක වූ අය පමණක්ම විය හැකිය. එය කිසිදා භාග්‍යයක් වන්නේ නැත. ඔවුන් 100% නිවැරදි යැයි මා කියන්නෙ නැත. තවත් බොහෝ අංග ජීවිතයට එකතු කර ගත යුතුවා මෙන්ම ජීවිතයෙන් අයින් කරගත යුතු ද වේ. පරිණත නායකත්ව ඔවුන් ඒ සදහා සූදානම් කල යුතුය. මම මගේ අප්පච්චිගේ අවධියේ එය එසේ වනවා දුටුවෙමි. දැන් එහෙම දෙයක් නැත.
මම දේශපාලනයට බොහෝ සේ ගරු කරමි. නමුත් මට කිසිදා දේශපාලනය කිරීමට නොහැක. ඒ සැබෑ ලෙස දේශපාලකයෙකු කල යුතු කැපවීම මට කිසිදා කල නොහැකි බැවිනි. මම සැබැවින්ම කම්මැලිය. එවිට මාත් ජනතාවත් දෙගොල්ලම අමාරුවේය. එපමණක් ද නොවේ. අපේ දරු තිදෙනාටද එය අකැපය. අප ඔවුන් ඇති දැඩි කොට ඇති පිලිවෙලට ඔවුන්ට දේශපාලනය කිරීමට අවශ්‍ය සුදුසුකම් සැබැවින්ම නැත!
මට අනුර කුමාර ජනාධිපතිවරයා ගැනත් දුකය. තඹුත්තේගම සාමාන්‍ය පවුලකින් බිහි වී දුක දිනා ඔහු මේ භූමියේ ආරක්ෂාකයා වන්නට විදි දුක් ගැහැට අපමණ විය හැක. එහෙත් මොන ප්‍රතිශතයක් ගෙන ජනාධිපති වුවද ඒ සැම ජාත්‍යන්තර පිටියේ පපට්ලාම ම බව ඉගෙනගෙන ඉවර වෙනකොට එතුමාගේ නැව හැපෙන්නේ ටයිටැනික්ටත් අන්ත ලෙසය.
අධිකරණ අමාත්‍යතුමා කුමක් කෙසේ කීවත් මමත් මගේ අයියාත් දරුවනුත් අධිකරණ පද්ධතියෙන් දුන් තීන්දුව පිලිගනිමු! ඒ අධිකරණයට ඇති බියකින් නොවේ. ඒ නීතියට හිස නොනැමූ තැන අවනීතිය රජ වන බැවිනි. අවනීතියේ ප්‍රතිවිපාක 88-89 වර්ෂ වලදී මම මැනවින් අත්දැක ඇත්තෙමි. 70 දසකයේ අවනීතිය මා කීමට නොදන්නේ ඒ වනවිට මා ඉපිද නොසිටි බැවිනි. ඉදින් මල් මෙන් හදන මගේත් මේ කියවන ඔබේත් දරුවන්ට අවනීතිය රජයන සමාජයක් උරුම කිරීමට මා සූදානම් නැත.
3% වූ ජන්ද පදනමක් වසර කීපයකින් 68% දක්වා වර්ධනය කියාපෑවේ පොදු මහජනතාවගේ මානසික පීඩනයේ, අපේක්ෂා භංගත්වයේ, සිහින බිදීයාමේ වේදනාවේ උපරිමය ය. ඔවුන් අසරණකමේ පතුලේය.
JVP ය තුවක්කු රැගෙන බලය ලබාගැනීමට දුක් මහන්සි වෙද්දී ප්‍රේමදාසලා, රනිල්ලා, චන්ද්‍රිකාලා, ලලිත් ඇතුලත් මුදලිලා, ගාමිණී දිසානයකලා, කදිර ගාර්මලා, අප්රොෆ්ලෝ මහින්ද රාජපක්ෂලා, මහින්ද විජේසේකරලා, දිමු ජයරත්නලා, බර්ටි දිසානායක ලා, රංජන් විජේරත්නලා, මෛත්‍රීපාලලා, ගෝථාභයලා, ඩෙන්සිල් කොබ්බෑකඩුවලා, සරත් ෆොන්සේකලා, ශවේන්ද්‍ර සිල්වලා, ආදී තවත් බොහෝ දෙනා ලොව දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග තම තමන් දන්නා විදියට වැරදි වැරදි හරිගස්සාගෙන තම ශ්‍රමය, කාලය, ඇස්, ඉස් මස් ජීවිත පූජා කරමින් සටන් වැදුනේ, සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ආදී වූ සියලු ජාතීන්ගේ හා බෞද්ධ, හිංදු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගමිකයන් වූ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවත් වීමේ අයිතිය හා භූමියේ අයිතිය සාක්ෂාත් කරදීම උදෙසාය.
අප හැම සුදුත් නැත! කලුත් නැත. ගුණ අගුණ අප කවුරුත් සතුය. ඔවුන් රට වෙනුවෙන් කල යහපත් දෑ ඇස් පනා පිට ඇත. නමුත් සාර්ථක අසාර්ථකත්වය මනින්නට මෙලෝ දෙයක් නොකල කණ්ඩායමකට ජනතාව බලය දෙන්නේ වැරදි දකින්නටවත් ඔවුන් කරපු දෙයක් නොමැති නිසාය. ‘සමාජ මාධ්‍ය ‘ මහින්දානන්දලා හොරුන් මංකොල්ලකාරයන් කරද්දී, ජීවත්වීමේ අයිතිය සාක්ෂාත් කිරීමට මූලිකත්වය ගත් මහින්ද රාජ පක්ෂයානන්ට පන පිටින් නිවන් සුව පතද්දී 88/89 ඉපදිලාවත් නොසිටි කිරි සප්පයෝ ‘ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්’ වී බොරු ප්‍රචාරණයට ජාතක වූ ආණ්ඩුවක් පත්කර ගත්තේය. දේශපාලන දන්නා ලාල්කන්ත මහත්තයාම කිව්වේ පාර්ලිමේන්තුවට පොල් කෝම්බත් ගසාගෙන විත් ඇති බවය.
ඒ අනුව රටේ උත්තරීතරම ආයතන වන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයද අභිබවා ගොසින් අද රජවරු තනන්නේත්, නීතිය පසිදලන්නේත්, නඩු ඇසීමටත් පෙර දඩුවම් දෙන්නේත් මූලිකව මුදලට සියල්ල තීරණය කරන ‘සමාජ මාධ්‍යය’.
මෙහිදී මා කතා කරන්නේ මහරාජලා, දිලිත්ලා, රෙනෝලා, චතුරලා, රොෂාන්ලා, සුරංගලා, ඩයස්ලා, සුදේවලා, සංඛලා ගැන නොවේ. ‘යම්කිසි ප්‍රතිරූපයක් සමාජය තුල ගොඩනගාගෙන, එය පවත්වා ගැනීමට උත්සාහ උත්සාහ කිරීම’ මතම එක්තරා ප්‍රමාණයකට ඔවුන් හා ඔවුන් වන් යම් ප්‍රමාණයක් සමාජයට වගකීමට උත්සාහ දරණු මම දැක ඇත්තෙමි. ඔවුන් සමහරෙක් අතින්ද මගේ අයියාගේ ප්‍රතිරූපය අමුවට දූෂණය වනු මා උපේක්ෂාවෙන් දරාගෙන නැතුවා නොවේ. එහෙත් මේ බොහෝ අය වැරදි වැරදි වුව හරි පාරක් හොයාගෙන යාම හෝ ඒ වෙනුවෙන් දරනා උත්සාහය නොදැක්කා යැයි මට කිව නොහැක.එය මගේ හෘදය සාක්ෂියට එකග නැත. එබැවින් මට ඔවුන් ‘ ලා අලු’ චරිතය. එයද පවතින තත්වය හමුවේ සමාජ ජයග්‍රහණයකි.
කෙසේ හෝ මා කතා කරන්නේ කුමක් හෝ අටවාගෙන නම් ඇතුව හෝ නැතුව මූල්‍යමය හෝ වෙනත් පෞද්ගලික ප්‍රතිලාභයක් උදෙසා කිසිදු වගකීමකින් තොරව, කිසිදු මූලාශ්‍රයක් නොමැතිව, කොටින්ම ගින්නක් තියා දුමක්වත් නැතුව මුලු මහත් සමාජයකට බොරුව, ක්‍රෝධය, වෛරය, ඉරිසියාව, අනුවණකම පතුරාලන ‘සමාජ මාධ්‍යය’. ගැනය.
කවුරුන් කෙසේ කීවත් අද අප රටේ අනාගතය, ආර්ථිකය, සභ්‍යත්වය, පාලනය පමණක් නොව නීතිය ද පවතින්නේ මේ ‘ සමාජ මාධ්‍ය’ නම් හස්තයට යටත්වය.
එබැවින් නායකයන් තනන්නේත්, නායකයන් ගෙදර යවන්නේත්, ජනතාවට හොරුන් තෝරා දෙන්නේත්, ශිෂ්ටයන් නම් කරන්නේත්, උගතුන් තීරණය කරන්නේත්, අන් කිසිවක් නොව මේ සමාජ මාධ්‍යමය.
කොලඹ 7 රාජකීයයට වැස්සකට ගියත් සමාජ තත්වයක් උදකර දෙන පසුබිමක 3 පංතියේ සිට රාජකීයයට ගිය මගේ අයියා නිකමකු කල…
76 වසරක දේශපාලකයන් හොරුන් ලෙස හංවඩු ගසද්දී, එහෙව් දේශපාලකයෙකුගේ පුතා sales rep තනතුරක් දැරීම මත හිගන්නෙකු කල…
මගේ අප්පච්චිගේ සිට බොහෝ දෙනා එක වැඩක් කර චන්දයක් ගද්දී මගේ අයියාට ඒ ජන්දයම ගන්නට වැඩ 10ක් කිරීමට අවශ්‍ය සෘණ ප්‍රතිරූපයක් ඇති කල…
මනුස්ස කුලයෙන් ඉහලින්ම වැජඹීමට අපමණ කරුණු කාරනා තිබියදී 21 සත වර්ෂයේ සිට මගේ අයියාගේ හෑම කර්තව්‍යයක්ම ‘ පද්දෙකු’ කොට අවතක්සේරු කල…
නීතිය නඩු ඇසීමටත් තීරණ දීමටත් පෙර මගෙ අයියා හොරෙක්, මංකොල්ලකාරයෙක් කල…
සමාජ මාධ්‍යයේ අවසාන බිල්ල මගේ අයියා විය යුතුමය
එබැවින් සැබෑ ජනතාවාදී දේශපාලනයක් රටට හදුන්වාදීමට අවැසිනම් පහත දෑ කෙරෙහි අවධානය යොමුකර මාධ්‍ය කලමණාකරනයක් සිදුකල යුතුමය. නොඑසේ නම් ඊලග අරාබි වසන්තය ලංකාවේ විය හැක. දැනටමත් එයට අප නතු වීද කියාත් මට නොතේරේ.
- The Illusory Truth Effect එනම් ඕනෑම බොරුවක් නැවත නැවත සමාජගතකල විට එය සත්‍ය වීමය. ඉදින් නීතිය පසිදලන අයද මනුෂ්‍යයෝය. නීතියේ දෙවගනගේ ඇස් බැද තිබුණ ද ඇය වෙනුවෙන් නීතිය පසිදලන උත්තමයන්ගේ ඇස් ඇරලා ය. ඔවුන් චූදිතයාගේ නඩුව අසන්නට පටන් ගන්නේම මෙම තත්වයට යටත්වය. එවිට වරදකට ඔවුන්ට ඇගිල්ල දිගු කරන්නටත් බැරිය.
- The Dunning Cruger effect -පුද්ගලයෙකුට යම්කිසි දෙයක් පිලිබදව ඇති දැනුම ඉතා අඩු විට ඔවුන් එම දේ පිලිබදව උපරිමෙන් දන්නේය සිතා කරුණු දැක්වීමට පෙළඹ වීම මින් ගම්‍ය වේ. ඉදින් කිසිදු නියාමනයක් නොමැතිව ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් වගකීමකින් තොරව ලියන්නට කියන්නට දීම මාධ්‍ය නිදහස නොව ‘වල් බූරු නිදහසම පමණකි’. එය සමාජයේ සැබෑ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය කරනවා පමණක් නොව ජනතාව ඒ මත පිහිටා සිට තීන්දු තීරණ ගැනීමට පෙලඹ වීමෙන් ඔවුන් කබලෙන් ලිපට ඇද දමන්නට කටයුතු කරන්නේය. මෙය සැබෑ ඛේදවාචකයක් නොවන්නේ කෙසේද??
- The Gell Mann amnesia effect: මෙයින් කියවෙන්නේ පුද්ගලයින් සමාජ මාධ්‍ය තුල ඇති තමන් දන්නා පුවතක නිරවද්‍යතාව පිලිබදව දැඩිව වෙහෙසෙන නමුත් එම මාධ්‍යයේම ඇති වෙනත් ඕනෑම ආකාරයේ පක්ෂග්රාහී, බොරු තොරතුරක් ඔවුන් පිලිගැනීමට අකමැති නොවීමය. මෙය සමහරක් විට මිනිස් මොළය කුණු කෑමට දක්වන රුචියේ ප්‍රතිපලයක් විය හැක; එසේ නම් යහපත් සමාජයක් උදෙසා අප කල යුත්තේ නිදහස් මාධ්‍ය කරණයේ නාමයෙන් කුණු විකිණීමට කවර හෝ පුද්ගලයකුට ඇති අයිතිය නවතා දැමීම නොවේද?
අප නිදහස් නිවහල් මිනිස් සංහතියක් නිර්මාණය කිරීමෙහිලා පළමුව ඔවුන් හට සැබෑ සත්‍යය දැකීමට ඇසීමට ඇති අවස්ථා සලසා දිය යුතුමය. නොඑසේනම් ජනාධිපතිතුමා කිව්වා සේ මේ දෙකෝටිය සැමදා වහලුන් වනවා ඇත. ජනතාව වහල් භාවයෙන් මිදීමට නිදහස් විය යුත්තේ ඔවුන්ගේම හෘදයසාක්ෂියෙනි.
මෙහිදී නූතන ආණ්ඩුව තේරීපත් වන්නේ 2 කාරණය මත පිහිටා සිටය. එසේ නම් සහෝදරයකු දෙන කලිසමක් ඇද බිරිදටද යට ඇදුමේ සිට සහෝදරයෙක් දෙන දෙයක් අන්දා දරුවන්ටද අහල පහල අයෙකු දෙන දෙයක් කවා පොවා අන්දා බලා ගැනීමේ වරදක් නැත. ඒ සහෝදරයන් බොහෝමයක් පසුව රජයේ ඉහල පුටුවල රැදවීම ද මම වරදක් සේ නොදකිමි. ඔවුන්ට රාජකාරිය කිරීමට දැනුම බුද්ධිය හා අත්දැකීම් නැතිනම් පමණක් මට නම් එය වරදකි.
මේ ආකාරයටම මහින්දානන්දලා ලංකාවේ වූ දුප්පත්ම එක් ආසනයක් පාරවල් තනා නගර බිහිකොට සංවර්ධනය කලා පමණක් නොව ඔහුට ලැබුනු සියලු අමාත්‍යාංශ හැකි පමණ සාර්ථකව මෙහෙය වන්නට උත්සුක විය.
ලංකාවේ එක් දුප්පත්ම ආසනයක් තුල කාපට් පාරවල් එලා, රාජකීය විද්‍යාල මොඩල තනා, නගර 3ක් ඇතිකර, උසාවි, පොලිසි නිර්මාණය කර එහි ජනතාවට දිවි හිමියෙන් සේවය කළේය. මහජන දිනම සතියට තුනක් පැවැත්වීය. අසනීප වූවත් ඇදෙන් නැගිටගත හැකිනම් ඒවා පැවැත්වීය.
වසර 12 ක පරීක්ෂණ වලින් පසු ඔහු කොමිස් ඉල්ලූ එකදු පුද්ගලයකුවත් නොමැතිකොට, මාලිමාවේ දේශපාලකයන්ට සියල්ල සපයන සහෝදරයන් මෙන් මහින්දානන්දගේ මිතුරෙකු, ඔහුගේ දේශපාලනය අගයන්නෙකු ඔහු බලා ගැනීම මාලිමා න්‍යායට අනුව වරදක් වන්නේ කෙසේද? මම ඔබෙන් අසමි!!
මෙලෝ වැඩක් පෙන්වීමට පෙර ඔබ බලාගැනීමට රට වැසියා ඉදිරිපත් වීම අගනේය. වැඩ පෙන්වූ පසුත් මහින්ද රාජපක්ෂලා මහින්දානන්දලා වෙනුවෙන් සහෝදරයන් සිට ගැනීමේ වෙනස; රටට මොකක් හෝ සංවර්ධනයක් වී තිබීම පමණක් නොවේද? (ඵල නැති රුකට මෝඩයාත් ගල් ගසන්නේ නැත. කුණු ගෙඩි ඇති ගසට ගල් ගසන්නේත් නැත. ගල් වදින්නේ ඵල ඇති රුකටය. බොහෝ ගල් වදින්නේ බොහෝ ඵල බර රුකටය)
නීතිය පසිදන නිලධාරීන් යොමු විය යුත්තේ මගේ අයියා මෙන් පුද්ගලයකු අල්ලාගෙන ඔහු අච්චු වෙනකම් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පරීක්ෂණ කිරීමට නොව සිදු වී ඇති අක්රමිකතාවය සොයාගෙන ඒ සදහා වගකිව යුතු අයවලුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පරීක්ෂණ කිරීමටය.
දැන් ඉතිං හැම ආණ්ඩුවක්ම කල කෙනිත්තීම් රිද්දීම් ඉවරය. වැඩ පෙන්නීම අමාරු බව පසක් වෙද්දී සංවර්ධනය පසෙක තබා මේ ආණ්ඩුව මර්දනය සිය වැඩසටහන කොටගෙනය. ඒ සදහා ‘අධිකරණ පද්ධතිය යොදාගත් බව අධිකරණ අමාත්‍යවරයාම කියන පසුබිමක ‘ දේශපාලකයින් රාජ්‍ය නිලධාරීන් පෝලිමට ජම්පර් ඇදීමට බැරි නැත. ඊලගට පත්වෙන ආණ්ඩුවකට මෙය පෙරහුරුවක්ම වනු ඇත. අවසානය 88/89 වඩා පට්ට අන්ත වනුත් ඇත.
1990 ගනන්වල වරෙක මම පේරාදෙණිය රෝහලට රෑක ගියේ අම්මාට හදිසි ප්‍රතිකාර අවශ්‍ය විය. හදිසි ලෙඩෙක් ගෙන ආ අතර ඊට සුලු වේලාවකට පසු ත්‍රීරෝද රථ 50 පමණ ගැම්මට ආවේය. මට කුතුහලයක් ඇති විය. සොයා බැලීමේදී තමන්ගේ ත්‍රීවිල් සගයා හදිසි අනතුරකට ලක් වූ නිසා සොයා බැලීමට පාක් එකේ ත්‍රීවිල් ගැන්සියම ඇවිල්ලාය. පසුව මා දැන ගත්තේ ඔවුන් සැම විටම අනෙකා වෙනුවෙන් එසේ පෙනී සිටින බවය. නූගත් යැයි හංවඩු ගසන ත්‍රීවිල් කොල්ලන් තුල වූ ඒ මනුෂ්‍යත්වය එදා මා අමන්දනන්දයට පත් කලා පමණක් නොව ත්‍රීවීල් රථයකට නැග්ගොත් මල්ලි අයියා කියා ඔවුන් අමතන්නට තරම් ඒ හැගීම පසු කාලයේ පවා මා පෙළඹවීය.
නමුත් තමන්ගේ සගයන් බොහෝ දෙනෙකු වෙනුවෙන් පක්ෂ පාට දේශපාලනය, ආගම, ජාතිය, කුලය නොසලකා හැකි හැමවිටම උපකාර කල මගේ අයියා වෙනුවෙන් සිටගන්නට ඔහුගේ දේශපාලන සගයන් අද අතේ ඇගිලි ගානටවත් නැත. ඒ දේශපාලනය විය හැක; සදාකාලික මිතුරන් හතුරන් නැත! එහෙත් මගේ අයියා ඒ හැම දෙනාට දෙනාට හදවතින්ම සදා මිතුරෙකි! සමහර විට ඔවුනුත් දුටු කැරම් බෝඩ් වෙනුවෙන් හිරබත් බුදිමින්ද ඔහු මට ඔබලාට කරදරයක් වූ තැන සොයා බලන්නට යයි කියනු ඇත. ඒ ඔහුගේ උත්තම මිත්‍රත්වය යි.
අනෙක් අතට මගේ අයියාට සැබැවින් ලෙන්ගතු සමහර දේශපාලන සගයන් හා වෙනත් මිතුරන්ට එලිපිට ඔහු වෙත ඒමට හෝ ඔහු වෙනුවෙන් කතා කිරීමට නොහැකි බවද මම දනිමි; දේවල් සිද්ධ වෙන තාලෙට ඔවුන්ට කරදර විදීමට එයම හේතුවක් විය හැක. මේ දිය යටින් ගින්දර ගෙනියනවා සේ වන රාජ්‍ය මර්දනයේ අදුරු සෙවනැලිවල ජායාව න්‍ය.
මගේ අයියා විවේචනය කිරීමම ඉහල රාජ්‍ය තනතුරු ලැබීමට වරප්‍රසාදක් වී ඇත. ඉදින් එක්කෙනෙක් දෙන්නෙක් එහෙම කරද්දී මගේ අයියා වැඩ්ඩොක් බව දන්නා, අයියාට දේශපාලනයෙන් ඔබ්බට ගොස් ආදරය කරන රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුටවත් ඔහුගේ ගුණ එලිපිට වයන්නට නොහැක; කමෙන්ටුවක් දාන්නවත් බැරිය. බොහෝ විට ඔවුනුත් කතිරයක් ගසා පත්කරගත් ආණ්ඩුව වක්‍රව ඔවුන්ගේද කට වසා ඇත. නිවහල් භාවය සොරාගෙන ඇත. ඔවුන්ගේ හෘදයසාක්ෂිය මගේ අයියාගේ ඉරණම දෛවයට භාර දීද ? කමයට භාරදීද? ඔවුනගේම කතිරයට භාර දීද? මට අසන්නට සිතේ.
අයියා ගැන සැබෑවටම නොදත් මාධ්‍ය මැවූ තක්කඩියා ගැන පමණක් දත් ලාංකිකයන් අයියාට කරන අවමන් යම් ලෙසකට මට දරාගත හැක. එහෙත් මගේ අයියා අප්‍රමාණව ආදරය කල සංවර්ධනය කල රැකබලාගත් නාවලපිටිය රතිඤ්ඤා දමා ඔහුගේ 20 වසරක සිර දඬුවම සැමරීය. එය නම් මා අප්‍රමාණව වේදනාවට පත් කල බැව් කිව යුතුමය. දඩුවම අසා සිහි එලවාගත් විගස මට මතක් වූයේ නාවලපිටියේ අයියා ශ්‍රමය ධනය යොදා සැදූ පංසල් දෙකකටත් හැකි සෑම විටම මා මානසික සුවය පතා වැදනමස්කාර කර එන නගරයේ කෝවිල් දෙකටත් විගහින් යා යුතු බවය. මේ දුටු මට ඒවාට තබා නගරයේ පස් පාගන්නත් අප්‍රසන්න විය.
නාවලපිටියට මගේ අයියා කල කී දෑ මම නොදනිමි. මමත් ඔහුගේ දිවියට අලුත් ය.නමුත් වසර 30 කට පෙර ලංකාවේ බදුල්ලට පසු වූ එක් දුප්පත්ම ආසනයක් ලංකාවේ එක් සංර්වර්ධිතම ආසනයක් බවට පත්ව තිබූ අපූරුව සියැසින් දුටු මම ඔහුගේ බිරිද වන්නේ ඒ ගරුත්වය ද ඔහු වෙනුවෙන් හිත දරාගෙනය. සිංහල ගම්මාන නොව වතුකරය ද වෙනසක් නැතිව ඔහු සංවර්ධනය කරන්නේ මුලදී ඔහුට වත්තෙන් ජන්ද පවා නොතිබූ වටපිටාවකය. ඉදින් ඔහු ඔබට ඔබේ ප්‍රදේශයට කල කී දෑ දන්නේ නාවලපිටියේ ජීවත්වන ඔබේ හෘදයසාක්ෂියම පමණි. ඔහු ප්‍රතික්ෂේප කිරීමේ සාධාරණත්වය දන්නේත් ඔබම පමණි. වත්මන් අධිකරණ අමාත්‍යතුමා පැවසූ අකාරයට ඔබගේ කතිරය ඔහුගේ දඬුවම තීරණය කිරීමට ඉවහල් වී ඇති බව නම් පෙනේ. එයත් ඔබ හෘදයසාක්ෂියට එකඟව සතුටින් භුක්ති විදිනවාද නොඑසේනම කනගාටුවෙන් දරා ගන්නවාද දන්නේත් ඔබම පමණය.
2019 ජනාධිපතිවරණයේ නාවලපිටිය ආසනය ජන්ද 40000කින් පරාද වූ විට මම මගේ අයියාගෙන් ඉල්ලා සිටියේ අපේ බලකනු වන් වූ යටිනුවරට හෝ උඩුනුවර සංවිධායක වී යන ලෙසය. (බිරිද ලෙස ඔහු පසු පස සෙවනැල්ල වීම යනු ඔහුගේ කෝණයෙන් බැලීමත් ය) ගෝථාභය ජනාධිපතිතුමා ද එසේ කීවේය. එහෙත් මගේ අයියා කිව්වේ නාවලපිටිය ජනතාව ඔහුගේ ජන්දයකදී ඔහු සමග සිට ගන්නා බවය. මම නම් ඔහු සමග උරණ වුනෙමි. එලෙසම ඊට මාස 6කට පසු පැවති මහ මැතිවරණයෙන් ඔහුට සිංහල, දෙමළ මුස්ලිම් ප්‍රජාව එක ලෙස ඡන්දය දී ආසනය වැඩි ජන්ද 40000කින් දිනවා දුන්නේය.
ඊලග මැතිවරණයේදී තමා දන්නා, දුටු අත්විඳි මහින්දානන්දට වඩා සමාජ මාධ්‍ය හංවඩු ගැසූ මහින්දානන්ද ඔවුන්ට එපා විය. ඒ ජන්දදායකයාම රැල්ලට ගසාගෙන ගොස්, මාධ්‍ය ඔසවා තැබූ තුෂාරී ජයසිංහ නීතීඣ තුමියට (ටයිප් කරන්න මා දන්නෙ නැත) නාවලපිටිය භාර කලේය. ඒ මගේ අයියා වෙනුවටය. එතුමියට මගේ අයියා නාවලපිටියට කලාට වඩා සේවයක් සැලසීමට ලැබේවා කියා මම පතමි. ඒ ඔහු 20 වසරක් කූරු ගනිමින් වුව එය බලාපොරොත්තු වන බව මා දන්නා බැවිනි. ඒ අත්දැකීමෙනි; දිනය මතක නැත; මේ වසරේ පෙබරවාරි මාසය විය යුතුය. මට මතක විදියට මාලු කඩේ ගයාන් අයියා හෝ සමූපකාරේ ජගත් අයියා මට එවන්නේ නාවලපිටිය බස් නැවතුම ජලයෙන් යට වූ වීඩියෝවකි.
නගරය මෙසේ යටවීම කලකට ඉහතදී සෑම වැස්සකටම සිදු විය. මගේ අයියා බොහෝ වැර වෑයමින් නොයෙක් අය පසුපස ගොස් මුදල් සපයා ගෙන ප්‍රතිකර්ම කර වහිනකොට නගරය යට වීම නවතාලීය. එයින් නොනැවතී හැකි හෑම විටම කාණු පිරිලාදැයි බැලීමටත් අමතක නොකලේය. ඉදින් මෙහෙව් නගරය වසර ගනනකට පසු යට වීම මට ඇති කරන්නේ කුරිරු සතුටකි. ඉදින් මම දුරකථනයත් රැගෙන මගේ අයියා වෙත යන්නෙ ‘ හොද වැඩේ ටවුම යට වෙලා’ කියන්නටය. එහෙත් කාමරේ පුටුවේ සිටි මගේ අයියාත් ජංගම දුරකථනයෙන් මොනවා හෝ බලන ගමන් ය. ඒත් ඒ ඇස්වල කදුලුය. මගේ අයියා පෙනුමෙන් රෞද්‍ර වගේ වූවාට කොහොමත් හරි සංවේදීය. මට මා ගිය කාරණය මදකට අමතක විය. මා දුටු විගස ඔහු කීවේ “අම්මා ( මගේ අයියා මට ආමන්ත්‍රණය කරන්නේ එසේය) බස් ස්ටෑන්ඩ් එකේ අසංග වීඩියෝ එකක් එවලා; නාවලපිටිය ටවුම යටවෙලා; මිනිස්සුන්ට ඇවිදින්න බෑ දනියට එනකම් වතුර” කියා ය. ඒ මොහොතේ මගෙ අයියා ඉදිරියේ මගේ මනසේ ඉපිද මැරුණු හැගීම් මට වචනයෙන් විස්තර කල නොහැක. ඉදින් ඔහු මනුෂ්‍යත්වය හමුවේ මනුෂ්‍ය දෙවියෙක් නොවූයේ කෙසේද? මා බහුතර සමාජය ඉදිරියේ උගත්, උසස්, පෙලපත් දරනා, ශිෂ්ට, සංවේදී, හොද අයකු වූයේ කෙසේද??? මට මතක මං පැන ඔහු බදාගෙන ඒ අප්‍රමාණ මනුසත්කම හමුවේ භක්තියෙනුත් මගේ කුරිරුකම ගැන ලැජ්ජාවෙන් ගල් විත් මිශ්‍ර හැගීම් ගොන්නක අතරමං වූ ආකාරයය.
පසුවට මේ සිද්ධිය ඔහුට බෝලයෙන් කණ්ඩායමක් පසුගිය මැතිවරණයේදී නගර සභාවට ඉදිරිපත් කර දිනවීමට මං පෑදීය. ඒ හුදු දේශපාලනයට එනවාට වඩා ඔහු ඉදිකල නගරය ඔහු මෙන් බලා කියාගන්නට කණ්ඩායමක අවශ්‍යතාවක් ඔහු දුටු බැවිනි. එලෙසම ඔහු සමග සිටි සගයනට ඒ සදහා උදව් කිරීමටත් ඔහුට අවැසි විය. ඒ අනුව එලඹෙන 25 දා නගරසභාව පිහිට වීමට මගේ අයියාගේ ආශිර්වාදය සහිත අමල් අයියාගේ කණ්ඩායමට හැකිය. මා අමල් අයියාගෙනුත්, සුරේෂ්ගේනුත්, අෂ් රොෆ් අයියාගෙනුත් අනෙක් පත්වීමට නියමිත මංත්රීවරයින්ගෙනුත් බැගෑපත්ව ඉල්ලන්නේ දැන් ඔබේ සබධතාවය මගේ අයියා සමග කවර අඩියක තිබුණාද ඔහු බොහෝ විට 20 වසරකටම ඔය භූමියේ පයක් නොගැසීමට ඉඩ තිබුණද මගේ අයියා බෙහෙවින් ආදරය කල, රැකපු, හදපු නාවලපිටිය නගරය ඔහු වෙනුවෙන් රැක බලාගැනීමට ආණ්ඩුවේ අභියෝග අභිබවා, බලපෑම් අභිබවා, මුදලේ බලය අභිබවා, එකාවන්ව ඒක රාශී වී ඔබේ බලය පිහිටුවාලන ලෙසය. ඒ වෙන කිසිවක් නිසා නොව මගේ අයියා ආදරය කල නාවලපිටිය නගරය ලස්සනට බලාකියා ගන්නට ඔබ කණ්ඩායමට හැකි යැයි මගේ අයියා විශ්වාස කරන නිසාය. 6*4 කාමරයක තිදෙනෙක් සමග හිර වී සිටින මගෙ අයියාට එය අපමණ සතුටක් සැනසීමක් වනු නොඅනුමානය.
2024 නොවැම්බර් මහමැතිවරණය පැරදී මගේ අයියා දේශපාලනයෙන් සමුගෙන අපි කොළඹ ආවෙමු. සත්‍ය නම් ඒ ඔහු මටත් දරුවන්ටත් දුන් පොරොන්දුවකි; රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය සාර්ථක කරගනු වස් උදේ දිවා නිලධාරීන් සමග අවංකව ඔහු වූ වෙහෙස දන්නේ අපිත් ඒ නිලධාරීනුත් ය. එය හරි හෝ වැරදි වෙනමය.(එකල ඔහුගේ පෞද්ගලික ලේකම් වූ මා දුටුවේ කාලයත් සමග එය අපිට අනිවාර්යයෙන් ලගා විය හැකිව තිබූ ඉලක්කයක් බවය. ඒ රටේම මතු පරම්පරාවේ යහපත උදෙසාය) පොහොර ඇටයක් ගොවියාට වෙලාවට ලබා දෙන්නට මහේෂ් ගම්මන්පිලලා, ශෂින්ද්‍ර රාජපක්ෂලා මහින්දානන්දලා ඇතුලු සියලු ලොකු කුඩා නිලධාරීන් කාලය ශ්‍රමය කැපකොට දැරූ උත්සාහ ඔවුන්ට උරුම කර ඇති ඉරණම මා විද දරා ගත්තේ හඬා වැලපෙමිනි. එතරම්ම අමාත්‍යාංශයේ සියලු දෙනා ඒ වෙනුවෙන් කැප විය. ඔවුන් හැප්පුනේ රසායනික පොහොර මාෆියාවක් සමගය. එය යුද්ධයක්ම විය. අපි ගෙදර එන්නේ 9-10 පසුවෙලාය. හැමදාමත් එසේය.
ඒසා සේවයක් කරන මගේ අයියාගේ පඹයන් පුච්චා සාප කරමින් ඔහුට පරිභව කල ආකාරය මටත් දරුවන්ටත් නෑයන්ටත් දරා ගැනීම පහසු වූයේ නැත. ඒ කිසිවක් මගේ අහිංසකයා නවත්වන්නට සමත් වූයේද නැත. ඔහු දත් ප්රචාරණයක්වත් සමාජ මාධ්‍ය හැසිරවීමක්වත් නොවීය. ඉතිං පොදු මහජනයා හමුවේ ඔහු හැමදාම ෆේල්ම විය. ( කෝටි 164ක් ගසා කෑ බවටත් දැන් ඔහුට චෝදනාය. නොදුටු කෝටි 5 කට 20 වසරකට හිරේ ඇරි මගේ අයියාට කෝටි 164 කට දඩුවම වන්නේ වසර 600ද මට හිනත් යනවා ය. කෙසේ හෝ මේවාත් කොහොම ඔප්පු වේදැයි මා නොදන්නා බැවින් මගේ අයියාට ආදරය කරන සැමට මා නැවතත් මගේ දරුවන් මත පිහිටා සිට දිවුරමි! මගේ අයියා ගසා කෑ සතයක්වත් මේ කෝටි 164 තුලනම් නැත.
ප්රශ්නය එසේනම් මට මගේ අයියා මෙන්ම අපේ දරු පැටව්ද අහිමි වනු ඇත. මේ දිවුරීම ඇර මට ඔහු වෙනුවෙන් වෙන කල හැක්කක් ද නැත. එය නීතිය පිළිගන්නේත් නැත. එහෙත් මට සැනසිල්ලක් දැනේ. එයත් වටින්නේය)
කෙසේ හෝ මේ වාතාවරණය අස්සේ දේශපාලනයෙන් සමුගන්නා ලෙස දරුවන් රණ්ඩු වූ විට ඔහු අවසානයට කලේ තමා පරාද වූ දිනක දේශපාලනයෙන් පැය 24ක් තුල ඉවත්වන බවට මටත් දරුවන්ටත් දිවුරා පොරොන්දු වීමය. මගේ අයියා 2024 නොවැම්බර් මාසයේ දේශපාලනයෙන් සමුගැනීමෙන් සනාථ කලේ ඔහු කෙතරම් තම හෘදයසාක්ෂියට අවනතව කටයුතු කලාද යන්නය. මගේ අයියලා එහෙව් ලෙස ගොඩනැගූ රට අද සැබෑවටම අවදානමේය.
මේ වන විට ව්‍යවස්ථාදායකය වදුරාට දැලි පිහිය දුන්නාටත් අන්තය. කමකුත් නැත. ඔවුන් කොහොම කොහොම හරි ඉගෙනගනී යැයි උපකල්පනය කරමු. බිය පිරි විස්මය නම් මේ ව්‍යවස්ථාදායකය තුලින්ම රටේ විධායකය එනම් කැබිනට් මණ්ඩලය පත්වීමය. අලුත් කීප දෙනෙකු සිටීම වෙනෙම කාරණයකි. නමුත් සම්පූරණ කැබිනෙට්ටුවම එසේ වීම මගේ නම් පිස්සු පීකුතු කරන්නේය.
අලුතෙන්ම පත්වන නීති සිසුවෙක් අති දක්ෂ නිසා නඩුකාර හාමුරු කෙනෙක් කල හැකිද?
වෛද්‍ය විද්‍යාලයේ අවසාන විභාගයේ අති දක්ෂ කාණ්ඩයේ පලමුවෙනියාට දොස්තර මහේෂී සිදු කරන මොලේ සැත්කමක් තනියෙන් භාර දිය හැකිද?
සිය දරුවා දක්ෂ ලෙස විභාග සමත් වී ගමට ආ බැවින් කුඹුරකටවත් බැස නැති ඔහුට හරක් බානක් ගෙන කුඹුර හාලා නියර තනා පැල ඉන්දන්නට දිය හැකිද?
ඉස්තරම්ම පිටරට පාසලකින් ගුවන් යානා පදවන්නට උපරිම ලකුණු මට්ටම්වලින් සහතික ඇති බැවින් පහුවදා සිට සුක්කානම අතට දී ගුවන් නියමුවෙක්වත් නැතිව යානය සහායක නියමු ලෙස පදවන්නට දිය හැකිද?
මේවාට උත්තරය ‘නොහැක’ යන්නනම් සියල්ල පාලනය කරන විධායකය ඔබ භාර කොට ඇත්තේ රටක් පාලනය අරභයා කිසිදු අත්දැකීම් නැති පිරිසකට වීම ඛේදවාචකයක් නොවන්නේ කෙසේද???
දැන් ඉතිං විය යුත්ත වී හමාරය. මටනම් කී දේවල් කරන්නට බැරි, කරන දේවල් කියාගන්නට බැරි යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තර බදින මේ කණ්ඩායම ගැන ඇතිවන්නේත් දුකකි. වලේ ගැඹුර නොදැන ඔවුන් පැන ඇත.. තාමත් වැටෙන ගමන්ය.
ඒ සමගම මටත් මගේ දරුවන්ටත් හිමි ඉරණම ඔවුන්ගේ බිරින්දෑවරුන්ටත් දරුවන්ට ඊටත් වඩා ගැඹුරින් විදින්නටත් වනු ඇත. දේශපාලනයේ තිත්ත ඔබලාම එතරම් භයංකර කර ඇත. (එය කිසිදා මගේ කැමැත්තවත් මා හීනෙන් පවා පතන දෙයක්වත් නොවන්නේය. මගේ දෙමව්පියන් මට ඊට වඩා බොහෝ ගුණදම් කවා ඇත!)
ඒ වෙනුවෙන් වැරදි කිරීමට අවශ්‍ය නොවනු ඇත. රාජ්‍ය නිලධාරීන්ටත් එසේම වනු ඇත. වරදකට රාමු නොවී සිටීමට නම් ඉතිං ඵල නොදරන රුකක්වත් වී සිටිය යුතුවා වැනිය.
දැන් ඉතිං මේ බොහෝ වැරදි නිවැරදි කරගෙන රටේ ප්රජාතන්ත්ර වාදය ද රැකගෙන, ස්වෛරීභාවයද රැක ගෙන, ජනතා පරමාධිපත්‍යයද හරි පාරේ දක්කාගෙන විධායකය හා ව්‍යවස්ථාදායකය ද කනෙන් හෝ අල්ලා ඇදගෙන ඊටත් වඩා වැදගත් නීතියේ ආධිපත්‍යය මෙන්ම ස්වාධීනත්වය ද ආරක්ෂා කොට ගෙන රට මෙහෙය වීම භාර වන්නේ, නීතියේ භාරකාරත්වය හිමි පුද්ගලයන්ට නොව නීතියේ වගකීම උරුමයක් වූ නීතිය යහපත්ව පසිදලීම යුතුකමක් නොව ජීවිතයේ කොටසක් වූ හා නීතියේ දෙවගනගේ හෘදය සාක්ෂිය ජනතාව අතරට ගෙන යන අධිකරණ පද්ධතියේ සියලු බුද්ධිමතුන්ටය. එසේ නොකලහොත් නැවත වරක් ‘ලොකු අයියා’ ලෙස ඒකීය ස්වෛරී රටක කටයුතු කිරීමට ඔබට ලැබෙන අවසන් වරය මෙය වන්නටද පුලුවන.
කන්ටේනර් 323 ක ආවේ සීනි වෙන්ටත් පුලුවන! පරිප්පු වෙන්ටත් පුලුවන! රතු ලේබල තිබූ නිසා ටොපි චොකලට් වන්නටත් පුලුවන! සෙල්ලම් පිස්තෝල වෙන්නත් පුලුවන! ගින්නක් නැතුව දුමක් නගිද? එසේ නම් එහි වූයේ ආයුධ වන්නට බැරිද? එසේ නම් ඒවා ආවේ කුමක් සදහාද?
ඉරාකය සුනු විසුනු වූයේ, ලිබියාව සුනු විසුනු වූයේ වැරදි නායකත්වයන් හී වැරදි නොතිබූ නිසා නොවේ. නමුත් වර්තමානයේ ඒ රටවල් වල තත්වය කුමක්දැයි කවුරුත් සොයා බැලුවාද? අනාගතය භාර ගැනීමට සිටින, කටේ කිරි සුවද නොගිය ටිකිරි මොල ‘සමාජ මාධ්‍යය’ අනවශ්‍ය ලෙස උද්දීපනය කර හැසිරවීම නම් මහා පාපය මත ඒ රටවල් සුන්නදූලි වෙලාය.
කාවන්තිස්සලා දැමූ පදනම් මත දුටුගැමුණුලා රට එක්සේසත් කලේය. රනිල් වික්‍රමසිංහලා දෙකඩ කල උතුරු නැගෙනහිර ‘ ත්‍රස්තවාදී ඒක රාශිය’ තුල මහින්ද රාජපක්ෂලා රට එක්සේසත් කලේය.
එම නිසා ඉතිහාසයෙන් පාඩම් උගෙන අනාගතය ගැන පිඹුරුපත් සැකසූවේ නැතිනම් ඔබටත් මටත් නොව ඔබේ මල් වන් දරුවාටත් අපේ දරුවන්ටත් හිමි විය හැක්කේ පලස්තීනයක් ඊශ්‍රායලයක් ලිබියාවක් හෝ ඉරාකයක් පමණය. එදාට අපේ මතු පරම්පරා වලට රජකම් කරන්ටත්, උසස්වීම් ලබන්ටත් හම්බ කරන්ටත් ඕනෑකමක් නැතිවෙනු ඇත. පාවාදී, හොරකම් කර හෝ මංකොල්ල කා හෝ ඔබත් මමත් හම්බ කර දෙන සතයක්වත් පාවිච්චි කරන්ටත් ඔවුන්ට අවස්ථාවක් නොලැබෙනු ඇත.
එබැවින් මම මගේ අයියාගේ සිරුර නීතිය පසිදලන සැමට පණපිටින් පවරා දෙමි. වෛද්‍යවරුන් මෙන් මගේ අයියාගේ සිරුර කපා කොටා ඉරා හෝ නීතියේ අඩු ලුහුඩු තැන් හොයාගෙන ඒවා නිවැරදි කර අධිකරණ අමාත්‍යතුමා පෙන්වා දුන් ‘මාලිමා ආණ්ඩුවේ යුක්තිය’ නොව ‘නීතියේ දෙවගනගේ යුක්තිය ‘ මගේ අයියාගෙන් පසු හෝ මාලිමාවේ පටන් සියලු දේශපාලකයාට, නිලධාරියාට රට වැසියාට උරුම කරදීමට ඔබ සැමට පක්ෂ පාට දේශපාලනයෙන් ඔබ්බට ගොස් හැකියාව ලැබේවායි මම පතමි! ඒ පිං මගේ අයියාට අත්වේවායිද පතමි! ඔහු කොහේ සිටියත් මානාසික සුවයෙන් වැජඹේවා යයි පතමි!
මගේ අයියා කල හොද වැඩක් ලියන්නට, කියන්නට තියා ඔහුත් සමග ඉන්නා පිංතූරයක් සමාජ මාධ්‍ය තුල දැමීමත් බොහෝ දෙනෙකුට ලැජ්ජාවට කරුණක් වූ වටපිටාවක මට නම් මහින්දානන්ද අලුත්ගමගේ ගේ බිරිදවීම නිහතමානීව ආඩම්බර වන්නට හැකි මා ලද වරයකි. සමාජය කුරිරු ලෙස සලකද්දී සමහර අවස්ථාවල ඔහුට සිටියේ මා පමණි. නමුත් ඔහුට දුන් වද දෙස බලන විට මගේ ප්‍රශ්න මොනවාදැයි අද මට සිතේ. ඉදින් ඔහුගේ ආතතිය මා පිටින් ගිය අවස්ථා නැතුවා නොවේ. එවන් අවස්ථාවල දරාගැනීම මට පහසු වූයේ ද නැත. එහෙත් ප්‍රායෝගිකව බොහෝ දෑ දරාගනු වස් කලකට ඉහත මම මිතුරන් දෙදෙනකු සමග ලගින් කතා කිරීමට පෙලඹුනෙමි. හමුවීවත් නොමැත. ඒ අපේම වටපිටාවේ අපේ ප්‍රශ්න තේරුම්ගත හැකි අයවලුන් ය. මට එය කැපද අකැපද මා නොදනිමි. ම පසුව අයියාටත් නම් ගම් නැතුව ඒ බව පැවසූයෙමි. මං කිසිදා මගේ අයියාට වෙනත් වරදක් කර නැත. මේ මගේ හෘදයසාක්ෂියයි.
අද මා දන්නේ ඔහුගේ දක්ෂතාවය, කැපවීම, හැකියාව, රජුන් තැනීමේ කලාව කොතරම් උත්කෘෂ්ට වන්නට ඇතිද කියාය. ඒවා වෙනුවෙන් අප්‍රමාණ පහර කා අද ඔහු සැනසිල්ලේ ය. ඔහු බෝධි පූජා වලට සමබන්ධ වෙයි. පොත් කියවයි. විනාඩි කිහිපයක් භාවනාව ද පටන්ගෙනය. ඕනෑම දෙයක් ක්ෂණයකින් ග්රහනය කරගන්නා ඔහුට ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තට මමත් තව නැඹුරු වී මගේ අයියාටත් වටහා දීම මගේ අරමුණය. මට වඩා ඔහු ප්‍රතිපත්ති රැක්කේය. ආමිස පූජා නිතර නොකලාට ඔහු නියම බෞද්ධයෙක් ය.
මට මගේ අයියා අගමැතිවරයකු ජනාධිපතිවරයකු කිරීමේ හීන නොතිබුණි. නමුත් මා දුටු, ජනතාව නොදුටු, උත්තරීතරම මනුෂ්‍ය ගුණාංගයන්ගෙන් හෙබි ඒ යුග පුරුෂයා මිනිසුන්ට හදුන්වාදීමට මට මහත් පිපාසයක් තිබුණි. වික්ටෝරියා පාලමට පොල්ලෙල්ලක් තරම් වුවත් මම සමාජ මාධ්‍ය හා මා දන්නා තරමට ගැටී ඔහු වෙනුවෙන් ඒ සදහා කැප වීමට තිබුණි. නමුත් මගේ උත්සාහය මහා සාගරයකට දිය බිංදුවක් වූ කල මං කෙසේ හැප්පෙන්නද..
එහෙත්..
මගේ අම්මාට මා දියණිය වෙද්දී මගේ අයියා ඇයට පුතා විය..
මගේ නංගීට මං නෑනා වෙද්දී මගේ අයියා ඇගේ අයියා විය..
මගේ නංගීගේ දරු දෙදෙනාට මං ලොකු අම්මා වෙද්දී බොහෝ කාලයක් මගේ අයියා ඔවුන්ට පියා විය…
මගේ දරුවාට මගේ අයියා සුලු පියා නොව තවත් පියෙක්ම විය..
මුලදී අපේ සම්බන්ධයට අකමැති වූ මගේ අතලොස්සක් හොදම යහලුවන්ට පසුකාලීනව මගේ අයියා සහෝදරයෙක්ම විය..
මගේ දියණියගේ මිතුරියන්ට මම ‘ සෙනානි ආන්ටි’ වෙද්දී මගේ අයියා ඒ කිරි දරුවන්ට අදටත් ‘මහී මාමා’ ය…. ඉදින් හරියට සිතුවොත් මම ඔහු නොදුටු බොහෝ දෙනෙකුට ඔහු දැකීමට මං විවර කරලාය. එය මගේ දිණුමයි.
දැන් මට මගේ අයියා වෙනුවෙන් ඉටුකල යුතු දෑ ඉටුකිරීමට කාලය මිඩංගු කල යුතුය. නීතිවේදීන්ට උදව් දීම මගේ ප්‍රධාන කාරයභාරයයි. ඒ වෙනුවෙන් මගේ මුලු කාලය කැප කිරීම මගේ අරමුණයි.
දින ගනනාවකට පසු මට සැබෑ සැනසීමක් දැනේ. මම මගේ හෘදයසාක්ෂියෙන් මෙසේ නිදොස් කොට නිදහස් වෙමි! ඔබ සැමටත් එසේ නිදහස් වීමට කරුණු පෙලගැසේවා යයි මම පතමි!
(මෙහි එන නම් ගම් කාරණා සියල්ල මනංකල්පිතය. මෙය හුදු ආශ්වාදයක් සදහා වන ප්‍රබන්ධයක්ම පමණි)
මම, සෙනානි ජයරත්න අලුත්ගමගේ