ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුරය නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මින් පෙර අවස්ථා ගණනාවකදී එස්. එම් චන්ද්‍රසේන මහතාට තනතුරු වරදාන ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කොන්දේසි විරහිතව සටන් කළ බවත් එම මතවාදයන්හි ප්‍රතිඵලයක් ලෙස යම් අවස්ථාවලදී රනිල් වික්‍රමසිංහ මහතා සමග හිත් අමනාපකම් පවා ඇතිවූ බවත්ය.
කෙසේ වෙතත් තමන්ගේ දේශපාලනයේ පිරිසිදු බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා ඕනෑම අයෙකුට තමාට කැමති දේශපාලන මතවාදයක් තෝරා ගැනීම් සඳහා අවස්ථාව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලුන් දොර ඕනෑම අවස්ථාවක විවෘතව පවතින බවත් ඊට ඕනෑම කෙනෙකුට ඒමට සායිමට හැකියාව පවතින බවත් පැවසීය.
ඉදිරිපෙළ ඉවත් වන විට ඒ සඳහා ශක්තිමත් යටි පෙළක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් නිර්මාණය කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අනුරාධපුරය පමණක් නොව හම්බන්තොටින් නාමල් රාජපක්ෂ ඉවත්ව ගියත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශක්තිමත්ව ඉදිරියට යෑම සඳහා යටි පෙළක් සකස් කර ඇති බව පැවසීය.
ඊට පිළිතුරු දක්වමින් එස්.එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා පවසා සිටියේ නාමල් රාජපක්ෂ මහතා බොහෝ සෙයින් කලබල වී ඇති බවත් පක්ෂයක් ලෙස මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගයේ පළකරන ලෙසට සිදුකළ ඉල්ලීම එතුමා තුට්ටුවකට හෝ මායිම් නොකළ බවත් ඔහුට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ නායකත්වය ලබා ගැනීම පමණක් බවයි.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා දැඟලුවාට එතුමාට අනුරාධපුරයේ දේශපාලනය කිරීමට නොහැකි බවත් එතුමා ඉතිහාසය නොදන්නා බවත් චන්ද්‍රසේන මහතා පැවසීය.
එමෙන්ම අරගලයෙන් පසුව තම නිවෙස් ආදියට ගිනි තැබීම් සිදු වූයේත්, අහිංසක මන්ත්‍රීවරුන් ඝාතනය වූයේත් නාමල් රාජපක්ෂ වැනි පුද්ගලයන්ගේ නිසා බවත් එවැනි පුද්ගලයන් සමඟ දේශපාලනය කිරීමට වඩා වත්මන් ජනපති යහපත් බවත් වැඩිදුරටත් පැවසීය.