සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට තීරණය කළ බව සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා සඳහන් කළේය.
ඒ අනුව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව වැඩ කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සෙවීමට යෝජනාවලියක් සකස් කිරීමේ අරමුණෙන් සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත.
ඒකාබද්ධව වැඩ කළ හැකි ආකාරය ගැන සෙවීමට යෝජනාවලියක් සකස් කිරීමේ අරමුණෙන් පත් කළ කමිටුවේ සාමාජිකයින් වන්නේ, කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න වේ.
එකට වැඩ කිරීමට හැකි ආකාරය පැහැදිලි කරන අදාළ යෝජනාවලිය සකස් කර සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීම මෙම සිවුදෙනාට පැවරී තිබෙන වගකීම වේ.
තවද තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යන ආකාරය ගැන සෙවීම මෙම කමිටුව වෙත පැවරී තිබෙන වගකීම වන අතර සජබ ප්‍රධාන විපක්ෂය හැටියට මූලිකත්වයේ තබාගෙන එජාප සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත.

