වාහන දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත්, රක්ෂණයත් එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න තවදුරටත් සදහන් කළේ,
” ප්‍රවාහන ක්ෂේත්‍රය නිසා ලෝකයේ මෙන්ම අප රටේ ද පරිසර පද්ධතියට හානි රැසක් සිදුවනවා. වාහනවලින් පිටවන දුමාරය ඒ අතර විශේෂයි. ඊට විසඳුමක් ලෙස අප විසින් දුම් සහතික නිකුත් කිරීම සිදු කරනවා. ඒ අනුව අප රටේ වායුගෝලයේ ගුණාත්මක භාවය හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යාමට සමත්ව තිබෙනවා. එමඟින් පෙනහළු ආශ්‍රිත රෝග අවම කිරීමට මෙම වැඩ පිළිවෙල සහාය වනවා.
ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව ඉදිරි මාස හය ඇතුළත වායු විමෝචන තත්ත්වය මැන බැලීම සඳහා මධ්‍යස්ථාන සියය දක්වා වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙම දත්ත සියල්ලම එක් තැනකට ගෙන ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම පුරවැසියෙකුට සජීවිව අන්තර්ජාලය හරහා වායු විමෝචන තත්ත්වයන් බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
අප දන්නවා අද මේ වායූ විමෝචන සහතික අරගෙන ඒ වාහන හිමියන්ට සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න මෝටර් වාහන බලපත්‍රය ගන්න. රක්ෂණ ආයතනයට යන්න වෙනවා රක්ෂණ සහතිකය ගන්න. එතකොට මේ වාහන හිමිකරුවෙක් මේ ස්ථාන තුනටම ගිහිල්ලා තමයි සහතික තුන ගන්න ඕනේ. දැන් අපි අවශ්‍ය වැඩපිළිවෙළක් යොදලා තියෙනවා මේ වාහන වායු විමෝචනය සඳහා ඒ ස්ථානයට ගියාට පස්සේ ඒ සහතිකය අරගෙන ඒ අවස්ථාවේදීම රක්ෂණය සහ වාහන බලපත්‍රයත් එකම ස්ථානයකින් ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක්.
ඒ සම්බන්ධයෙන් තව මාස දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙළ මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ සඳහා යම් ගාණක් ගෙවීමට සිද්ධ වෙනවා. එම නිසා මේක අනිවාර්ය එකක් නැහැ. ඒ අයට පුළුවන් කමක් තියෙනවා කැමති පරිදි ඒ සේවා ලබාගන්න.”
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සදහන් කරයි.