Image

රජයට අයත් සුඛෝපභෝගී වාහන 4000ක් අතුරුදන් ලැයිස්තුවේ.. විගණන වාර්තාව පවසයි.!

ජාතික විගණන කාර්යාලය විසින් සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ආරම්භ කළේය. ඒ සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති පසුබිමකයි.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ, මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනා බවයි.

ඊට අමතරව ගාලු මුවදොර පිටියේ අත්හැර දමා ගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව විමර්ශනය පවත්වාගෙන යන බවත් එම වාහන සත්‍ය වශයෙන් භාවිත කළේ කවුදැයි සොයා ගැනීමට අදාල තොරතුරු පරීක්ෂාව සිදුකරමින් පවතිනා බවයි.

අතුරුදන් වූ වාහන ලැයිස්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් ඇතුලත් අතර ඒ අතර මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් අන්තර්ගත වෙයි.

එම ලැයිස්තුවට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක් සහ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45 ක්ද අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන වාර්තා පෙන්වා දෙයි.

විගණන නිලධාරීහු පවසන්නේ ඒ අතරින් ඇතැම් රජයේ වාහන වලට අදාල ලිය කියවිලි පවා අස්ථානගතව ඇති හෙයින් එම වාහන පිළිබඳව තොරතුරු සොයා ගැනීම විශාල අභියෝගයක් වනු ඇති බවයි.

TRENDING POST