Image

ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගත් හැටි හෙළිවෙයි: ඔත්තුව දුන් පුද්ගලයාත් පොලිස් කූඩුවේ

පසුගිය ජූලි මස අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ ක්ලබ් වසන්ත නමැති අයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රධාන වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම පිරිස අතර තරුණියක් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද සිටින බව සඳහන්.

සිංහාර අමල් පුෂ්පකුමාර සිල්වා මෙම මහජන නියෝජිතය අත්අඩංගුවට ගනු ලබන්නේ වෙඩික්කරුවන්ට ආරාධ අනුබල ලබාදීමේ චෝදනාව යටතේයි.

කෙසේ වෙතත් වෙඩික්කරුවන් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තුව මෙම මන්ත්‍රීවරයා විසින් ලබා දී ඇති බවට සිළුමිණ ජාතික පුවත්පත තොරතුරු වාර්තා කරනවා.

පසුගිය 27 වැනිදා ත්‍රස්ත මර්දන අංශයේ සිටින නිලධාරීන් දෙහිවල පල්ලියදොර පාරේ කුලී නිවෙසක් වලටනු ලැබුවා.

ඒ, පාතාලයේ පිරිසක් අවි ආයුධ ඇතිව එහි රැඳී සිටින බවට වූ තොරතුරක් මතයි.

එහි දී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සමඟ වෙඩික්කරු ද සිටින බව පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළා.

31 හැවිරිදි වියෙහි පසු වූ අජිත් රෝහණ නමැති සැකකරු හිටපු හමුදා සෙබළෙකු බව ද සඳහන්.

එමෙන් ම ඔහු ලොකු පැටීගේ ඥාතීයෙක් බව ද අදාළ පුවත්පතෙහි දැක්වෙනවා.

29 හැවිරිදි ඉන්දික ද සිල්වා නොහොත් සංඛ ද එහි දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ත්‍රිරෝද රථ රියැදුරෙක් වන ඔහු අතුරුගිරියේ නිවෙස කුලියට ගැනීමට හා වෙඩික්කරුවන් බස් රථයකින් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා ලෙසයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරු සහ අනෙක් පුද්ගලයාට සැඟව සිටීමට ආධාර හා අනුබල දීම හේතුවෙන් තවත් පුද්ගලයෙකු එහි දී අත්අඩංගුවට ගනු ලබනවා.

ඔහුට සහ මෙම ඝාතනයට සම්බන්ධයෙක් අයෙකු නොවන බව සඳහන්.

මෙම වැටලීමේ දී ටී 56 ගිනිඅවියක්, විවිධ වර්ගයේ පත‍ෙරාම් 283ක්, පිස්තෝලයක්, අත්විලංගුවක් සහ සයනයිඩ් කරල් දෙකක්ද සොගත් බවයි පොලිසිය නිවේදනය කළේ.

ටී 56 ගිනිඅවියේ නව එකක් වන අතර එහි අංක මකා දමා තිබුණා.

මෙහි දී සොයාගත් උණ්ඩවල KPI ලෙස සටහන් කර තිබූ අතර ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේ ද මෙලෙස KPI යනුවෙන් ලියා තිබූ උණ්ඩවීම විශේෂත්වයක්.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර දින පහක් ඇතුළත සෙසු වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

ඒ, ඒ පානදුර පොලිස් ප්‍රධානියාට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා මහතා විසින් ලබාදුන් තොරතුරකට අනුවයි.

ඔහු පොලිසියට දන්වා ඇත්තේ, පිංවත්තේ පිහිටි නිවෙසක සැකකටයුතු දෙදෙනෙක් නවාතැන් ගෙන සිටින බවයි.

ඔවුන් සති තුනක පමණ කාලයක් තිස්සේ ඔවුන් එම නිවසේ රැඳී සිට ඇත්තේ කුලී පදනම මත බව ද කියා තිබුණා.

ඒ අනුව පොලිසිය පසුගිය 29 වැනිදා පස්වරුවේ සිදු කළ වැටලීමක දී එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට පත් වුණා.

කෙසේ වෙතත් අමල් සිල්වා මහතාට ද සිදුවූයේ, බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නටයි.

ඒ ඔහු සිය නිවසේ රැඳී සිටින පුද්ගලයන් කවුරුන්දැයි නොදැන සිටි බවට ප්‍රකාශ කළ ද, සැබෑ ලෙසම එම අපරාධකරුවන්ට සිය නිවසේ රැකවරණය දී ඇත්තේ ඔහුගේ අනුදැනම මත බව විමර්ශනයේ දී අනාවරණ වී හේතුවෙන්.

අමල් සිල්වා මහතා මෙම අපරාධකරුවන් දෙදෙනා සිය නිවසේ සඟවාගෙන රැකවරණය දී ඇත්තේ ඩුබායි සිට පාතාලයේ අපරාධකරුවෙකුගෙන් ලද දුරකතන ඇමතුමකට අනුව බව ද සඳහන්.

අමල් සිල්වා මහතා පවසා ඇත්තේ ජූඩ් ප්‍රියන්ත නමැත්තා විසින් කංජිපානිගේ නම කියා මෙම අපරාධකරුවන් දෙදෙනා සිය නිවසේ නවතා ගන්නා ලෙස දැනුම්දුන් බවයි.

විදේශ රටවලින් අමල්ගේ දුරකතනයට ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන්.

අමල්ව අත්අඩංගුවට ගන්නේ ඔහුගේ නිවසේ රැඳී සිටි බව කියන වෙඩික්කරු හා රියැදුරු පොලිස් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා සඟවා තබා ගනිමින් නවාතැන් පහසුකම් ලබා දීම, විදේශගතව සිටින අපරාධකරුවන් සමඟ ජංගම දුරකතන ඔස්සේ සම්බන්ධතා පවත්වා ගනිමින් අතුරුගිරියේ වෙඩි තැබීමට ආධාර හා අනුබල දීමේ චෝදනා මතයි.

TRENDING POST