ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ අද (15) දිනය වන විට මි.මී 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බවය.
එමෙන්ම පසුගිය 11 සහ 10 වෙනිදා මි.මී 200 ඉක්මවූ වැසි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ බවද ඔහු පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පවතින ආපදා තත්ත්වය සහ ආපදා සහන වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු එහිදී පැවසුවේ එලැඹෙන 16 සහ 17 දිනයන් හී වර්ෂාපතනයේ සැලකිය යුතු මට්ටමේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි නමුත් එලැඹෙන සතිය වන විට අන්තර් මෝසමේ සාමාන්‍ය ලක්ෂණය වන සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්ත්වයක් නිර්මාණය විය හැකි බවය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ. පී. ධර්මතිලක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ජනාධිපතිවරයා විසින් අද දිනයේ තවත් රුපියල් මිලියන 50ක් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ලබාදුන් බවය.
“මෙම ආපදාව නිසා මරණ තුනක් වාර්තා වෙනවා. තුවාල සිදුවීම් දෙකක් වාර්තා වෙලා තියෙනවා. පූර්ණ නිවාස හානි එකක්. අර්ධ නිවාස හානි 405ක් වාර්තා වෙනවා. වැඩිපුරම බලපෑම් කරන්නේ, කොළඹ, කළුතර,ගම්පහ සහ පුත්තලමට තමා වැඩි පීඩායක් වෙලා තියෙන්නේ. සුරක්ෂා නිවාසවල අපි රැකවරණය දෙන 10,369ක් වූ සාමාජිකයින්ට අවශ්‍ය පිසූ ආහාර, වෛද්‍ය පහසුකම් හා කුඩා දරුවන්ට කිරි, වැඩිහිටියන්ට තේ ලබාදෙනවා. ඔවුන්ව සුරක්ෂිතව තබා ගැනීමට රජය විශේෂ කැපකිරීමක් කරනවා. විශේෂයෙන්ම ජනාධිපති තුමා අද දිනයේ තවත් මිලියන 50ක් වෙන් කළා මේ වැඩකටයුතු සඳහා. මේ වනවිට අපි ප්‍රධාන පීඩාවට පත්වූ දිස්ත්‍රික්ක 4 තුළ අපි මිලියන 33ක් දිසාපතිවරුන්ට ලබාදී තිබෙනවා.”

